ඉන්දියාවෙන් සුපර්සොනික් බ්‍රහ්මෝස් කෲස් මිසයිල විශාල වශයෙන් මිලදී ගැනීමට පිලිපීනය සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ. මෙම සාකච්ඡා මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි.

මෙම නව එකඟතාව යටතේ මිසයිල පද්ධති පහක් සහ මිසයිල 60කට ආසන්න සංඛ්‍යාවක් ලබා ගැනීමට පිලිපීනය අපේක්ෂා කරන අතර, එහි සමස්ත වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 700ත් 800ත් අතර වනු ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙය 2022 වසරේ දී දෙරට අතර අත්සන් තැබූ ඩොලර් මිලියන 375ක පළමු ගිවිසුමට වඩා කැපී පෙනෙන ඉහළ යාමකි.

මිසයිලවල විශේෂත්වය සහ කලාපීය තත්ත්වය

ඉන්දියාව සහ රුසියාව එක්ව නිපදවන බ්‍රහ්මෝස් මිසයිල ලොව වේගවත්ම කෲස් මිසයිල අතරට ගැනේ. ගොඩබිම, මුහුද මෙන්ම ගුවනේ සිට වුවද මෙම මිසයිල සාර්ථකව එල්ල කළ හැකිය. පිලිපීනය මේවා යොදා ගැනීමට බලාපොරොත්තු වන්නේ සිය වෙරළබඩ ආරක්ෂාව උපරිමයෙන් ශක්තිමත් කරගැනීමටයි.

දකුණු චීන මුහුදේ භෞමික අයිතිවාසිකම් මුල් කරගනිමින් චීනය සහ පිලිපීනය අතර මතභේද මෙන්ම ගැටුම්කාරී වාතාවරණය උත්සන්න වී තිබේ. පිලිපීනය සිය යුද ශක්තිය වේගයෙන් ඉහළ නංවා ගැනීමට පියවර ගනිමින් සිටින්නේ මෙවන් පසුබිමක බව වාර්තා වේ.

ටැග්indialkanews