ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය අවසන් බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ සඳහන් කර ඇත. ගැටුම් නිමා කිරීම සඳහා සාධනීය ප්‍රගතියක් පෙනෙන්නට තිබෙන බැවින් තවදුරටත් ගැටුම් ඇති කර ගැනීමේ තේරුමක් නැති බව ඔහු පැහැදිලි කළේය.

මෙම අර්බුදය සමථයකට පත් කිරීම සඳහා ප්‍රධාන වශයෙන් මැදිහත් වී ඇත්තේ කටාර් රාජ්‍යයයි. සාම නියෝජිතයන් පිරිසක් සමග ධවල මන්දිරයට පැමිණි කටාර් අග්‍රාමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් බින් ජාසිම් අල් තානි, ජනාධිපති ට්‍රම්ප් හමුවී රහසිගත සාකච්ඡා පවත්වා තිබේ.

සම්බාධක සහ මෙහෙයුම් එලෙසමයි

යුද ක්‍රියාමාර්ග අවසන් වුවත් ඉරාන වරායවලට පනවා ඇති නාවික අවහිර කිරීම් මෙන්ම සම්බාධක අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ට්‍රම්ප් අවධාරණය කළේය. එසේම ගොඩබිමෙන් සහ කැස්පියන් මුහුදෙන් සිදුවන වෙළඳාම වැළැක්වීමට අරඹන ලද ‘ටාස්ක් ෆෝස් අයන් ගේට්’ මෙහෙයුම ද ඉදිරියටම ක්‍රියාත්මක වන බව හෙළි විය.

කටාර් රාජ්‍යය මෙන්ම සෞදි අරාබිය ද කලාපීය සාමය බලාපොරොත්තු වන බව පැවසූ ට්‍රම්ප්, දිගින් දිගටම ගැටුම් ඇති කර ගැනීම ඵලක් නොවන බව පෙන්වා දුන්නේය. ඉරානයේ සහාය ලබන ෂියා මුස්ලිම් සටන්කාමීන් වන යෙම්නයේ හූතිවරුන් සමග මේ වනවිට සෞදිය ද ගැටුම්වල නිරතව සිටින්නේ මෙම යුද්ධයේ දිගුවක් ලෙසිනි.

දේශපාලන පසුබිම

කටාර් අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවට ඇමෙරිකන් උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ද එක්ව සිටි අතර, ගැටුම් අනවශ්‍ය බව ඔහු ද පවසා ඇත. ජේ.ඩී. වැන්ස් 2028 ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පක්ෂයෙන් තරග කිරීමට නියමිත බවට ද වාර්තා වේ.

පසුගිය මධ්‍යවාර මැතිවරණයෙන් කොංග්‍රසයේ බහුතර බලය ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන්ට හිමිවූ අතර, නව කොංග්‍රස් මණ්ඩලය ලබන ජනවාරියේ ආරම්භ වීමට නියමිතය. ඊට පෙර ට්‍රම්ප් ඉරානයට ප්‍රහාර එල්ල කරනු ඇතැයි බොහෝ දෙනා අනුමාන කර තිබුණ ද මෙම නව තීරණය ඒ අනුව ප්‍රකාශයට පත්ව ඇත.