ඉරානය සහ ඇමෙරිකාව අතර නැවතත් යුද්ධයක් ආරම්භ වීමට ආසන්න බවට පවතින බිය හේතුවෙන් මුළු මැද පෙරදිග කලාපයම මේ වන විට දැඩි ආතතියකට ලක්ව ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය මධ්‍යයේ කටාර් අගමැතිවරයා වොෂින්ටන් ඩීසී වෙත පැමිණ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම උප ජනාධිපති ජේඩී වැන්ස් ද හමුවී සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබේ.
ඉරානයේ කොන්දේසි සහ ට්‍රම්ප්ගේ ස්ථාවරය
එක්සත් ජනපදය විසින් පනවා ඇති නාවික අවහිරතා ඉවත් කර, අත්පත් කරගත් වත්කම් නිදහස් කර, සම්බාධක ඉවත් නොකරන්නේ නම් සාමය කරා යා නොහැකි බව ඉරානය සඳහන් කරයි. එසේම වොෂින්ටනය සිය කැපවීම් මඟහරින බවට ද ඉරානය චෝදනා එල්ල කර සිටී.
මේ අතර, ටෙහෙරානයේ න්‍යෂ්ටික වැඩසටහන සහ හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම පිළිබඳ කෙරෙන සාකච්ඡාවල ප්‍රගතියක් ඇති වුවහොත් ඉරානයට එරෙහිව අලුතින් ගුවන් ප්‍රහාර එල්ලවීම 'ඉතාමත් අසම්භාව්‍ය' වනු ඇති බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
“යුරේනියම් පොහොසත් කිරීම සහ න්‍යෂ්ටික අවි වැඩසටහන් ස්ථිරවම අත්හැරිය යුතු බව ඉරානය අවසානයේ තේරුම් ගනී යැයි මම බොහෝ සේ බලාපොරොත්තු වෙමි”ජොහාන් වඩේෆුල්
ජර්මනියේ ස්ථාවරය
ඉරානයේ න්‍යෂ්ටික අවි වැඩසටහන වැළැක්වීම සම්බන්ධයෙන් ජර්මනිය එක්සත් ජනපදය සමඟ එකට සිටින බව ජර්මානු විදේශ අමාත්‍ය ජොහාන් වඩේෆුල් පෙන්වා දී තිබේ. ඉරාන රජය මෙවැනි අවි වැඩසටහනක් ඉදිරියට ගෙන යාම වැළැක්වීම සඳහා ජර්මනියට ද එක්සත් ජනපදයට සමාන දේශපාලන අරමුණක් පවතින බව ඔහු සඳහන් කළේය.






