ඉන්ධන සහනාධාරය සෑම පාරිභෝගිකයෙකුටම එක ලෙස ලබාදීම වෙනුවට, සැබැවින්ම අවශ්‍යතා ඇති පිරිස් සහ පොදු ප්‍රවාහන ක්ෂේත්රය පමණක් ඉලක්ක කරගෙන ලබාදීමේ වැදගත්කම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අවධාරණය වී ඇත. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ කරුණු සාකච්ඡාවට ලක්වූ බව වාර්තා වේ.
මෙම රැස්වීමට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ඇතුළු රවී කරුණානායක, හර්ෂණ රාජකුරුණා, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, එම්. කේ. එම්. අස්ලම්, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, තිලිණ සමරකෝන්, අජිත් අගලකඩ සහ සුනිල් රාජපක්ෂ යන මන්ත්‍රීවරු පිරිසක් සහභාගී වූහ.
ඉන්ධන මිල සූත්‍රය සහ වෙළෙඳපොළ ගැටලු
මැදපෙරදිග යුද තත්ත්වයෙන් පීඩාවට පත් පිරිස්වලට සහන සැලසීමේ වැඩපිළිවෙළ යටතේ ඩීසල් ඉන්ධන සහනාධාරයක් හා අස්වැසුම ප්‍රතිලාභීන්ට අමතර දීමනාවක් දීම ගැනද මෙහිදී අවධානය යොමු විය. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පිරිපහදුව මඟින් කොටසක් නිෂ්පාදනය කරද්දී, පෞද්ගලික සමාගම් සම්පූර්ණයෙන්ම ඉන්ධන ආනයනය කරන නිසා පිරිවැය සහ තරගකාරීත්වයේ අසමතුලිතතා ඇති බව පැහැදිලි කෙරිණි.
විදේශ සමාගම් හා CPC අතර ගොඩබෑමේ පිරිවැය පරතරයක් තිබුණද, CPC ප්‍රකාශ කරන මිලට අනෙක් සමාගම්වලටත් මිල තීරණය කිරීමට සිදුවන බව කමිටුව හඳුනාගෙන තිබේ. ස්වාධීන නියාමනයක අවශ්‍යතාව ද මෙහිදී පෙන්වා දී ඇත.
ටයර් ප්‍රමිතිය සහ අස්වැසුම සංශෝධන
වාහන ටයර් ආනයනයට නව ප්‍රමිති හඳුන්වා දීමේදී මතුව ඇති ගැටලු ගැනද නිලධාරීන්ගෙන් විමසා තිබේ. ආනයනකරුවන්ට ලබාදුන් මාස 3 ක කාලය ප්‍රමාණවත් නොවීම, පරීක්ෂණ පහසුකම් සීමිත වීම මෙන්ම දේශීය නිෂ්පාදකයන්ට අසාධාරණ වාසියක් ගොස් පාරිභෝගිකයා අපහසුතාවට පත්වේදැයි මන්ත්‍රීවරු ප්‍රශ්න කළහ.
මීට අමතරව, අස්වැසුම ප්‍රතිලාභීන් තේරීමේ නිර්ණායක 22 සහ දත්ත තහවුරු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳවද සොයා බැලූ කාරක සභාව, සැබෑ සුදුස්සන් අතහැරීම හා නුසුදුස්සන් ඇතුළත් වීම වැළැක්වීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.





