පේරු රාජ්‍යයේ මධ්‍යම ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් රික්ටර් මාපකයේ ඒකක 6.8ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. මෙම ප්‍රබල කම්පනය එරට අගනුවර වන ලීමා නගරයට පවා හොඳින් දැනී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පේරු භූ භෞතික විද්‍යා ආයතනය සඳහන් කරන ආකාරයට, මෙම කම්පනය හටගෙන ඇත්තේ ඇන්ඩීස් කඳුකරයේ ජුනින් ප්‍රදේශය ආශ්‍රිතව පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 129ක් පමණ ගැඹුරිනි.

මන්ත්‍රීවරුන් සහ ජනතාව එළියට දුවයි

භූමිය සෙලවීමත් සමඟ කලබලයට පත් ලීමා අගනුවර ජනතාව සිය නිවෙස්වලින් එළියට පැමිණ තිබේ. එමෙන්ම ඒ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් වහාම පිටතට පැමිණ ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම භූ කම්පනය නිසා කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් සිදු වූ බවට මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.