සිරගත කර සිටින පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය 74 හැවිරිදි ඉම්රාන් ඛාන් සිය සෞඛ්‍ය තත්ත්වය බරපතළ ලෙස පිරිහී ඇති බව පවසමින් නොවැම්බර් 16 වැනිදා විවෘත ලිපියක් යොමු කර තිබේ. අධික රුධිර පීඩනය හේතුවෙන් මොළයේ රුධිර වහනයක් හෝ හෘදයාබාධයක් සිදුවීමේ අවදානමක් පවතින බව වෛද්‍යවරුන් අනතුරු අඟවා ඇති බවත්, හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙසත් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණවලින් ඉල්ලා සිටියි.
පසුගිය නොවැම්බර් 10 වැනිදා සිය රුධිර පීඩනය 192 සහ 193 දක්වා ඉහළ ගිය බවත්, හෘදයට දැනටමත් හානි සිදුව ඇති බවත් ඔහු එම ලිපිය මඟින් පෙන්වා දී තිබේ.
දැඩි සීමා කිරීම් සහ ඇසේ ආබාධ
2025 දෙසැම්බර් මාසයේ සිට තමන්ව දිනකට පැය 22ක් දක්වා හුදකලාව රඳවා තබා ඇති බවත්, පවුලේ අය, නීතිඥයන් මෙන්ම පොත්පත් වෙත ඇති ප්‍රවේශයද දැඩි ලෙස සීමා කර ඇති බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා පවසයි.
තම දකුණු ඇසේ පෙනීමෙන් සියයට 85ක් අහිමි වී ඇති බව සඳහන් කරන ඔහු, බිරිඳ බුෂ්රා බිබීගේ ඇසේ ශල්‍යකර්මයකින් පසු ඇති වූ සංකූලතා නිසා ඇයටද සදාකාලිකව පෙනීම අහිමි වීමේ අවදානමක් මතුව ඇති බව සඳහන් කර තිබේ. පසුගිය අගෝස්තු 18 වැනිදා ඔහුව රෝහලකට යොමු කරන ලෙස සහ පවුලේ අය හමුවීමට ඉඩ දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝග ක්‍රියාත්මක වී නැති බවටද ඔහු චෝදනා කරයි.
චෝදනා ප්‍රතික්ෂේප කරන රජය
කෙසේ වෙතත් වෛද්‍ය ප්‍රතිකාර නොසලකා හැර ඇති බවට එල්ල වන සියලු චෝදනා පාකිස්ථාන රජය ප්‍රතික්ෂේප කර ඇත. රජයේ අමාත්‍යවරයෙකු පවසා ඇත්තේ ඉම්රාන් ඛාන් අවස්ථා අටකදී වෛද්‍ය පරීක්ෂණවලට ලක් කළ බවත්, ඔහුගේ සෞඛ්‍යය සහ රුධිර පීඩන මට්ටම සාමාන්‍ය බවත්ය.
2023 අගෝස්තු මාසයේ සිට සිරගතව සිටින ඉම්රාන් ඛාන්ට එරෙහිව පවතින නඩු දේශපාලන අරමුණු මත පවරා ඇති ඒවා බව ඔහු සහ ඔහුගේ පාකිස්ථාන තරීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය දිගින් දිගටම පවසයි.






