සිය මිත්තණියගේ ගුණ සමරා පැවැත්වීමට නියමිතව තිබූ දානමය පින්කමකට සහභාගී වීම සඳහා සැමියා සමඟ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි උපාධිධාරී තරුණියක් කෑගල්ල නගරයේදී සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්විය. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ බුලත්සිංහල, තිමියගොඩැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි රත්නායක මුදියන්සේලාගේ චතුරිකා දිල්රුක්ෂි රත්නායක නමැති කාන්තාවයි.

ඇගේ සැමියා වන 40 හැවිරිදි වික්‍රමසූරිය ආරච්චිගේ දිලීප සංජීව ප්‍රනාන්දු ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන කෝප්‍රල්වරයෙකි. මොවුන් විවාහ වී වසර දෙකක් ගතවී තිබූ අතර දරුවන් සිට නැත. ඉකුත් 02 වැනිදා දිලීපගේ කිරිඅම්මා මියගොස් වසර 10ක් පිරීම නිමිත්තෙන් කටුගස්තොට, වටපුළුව නිවසේ සංවිධානය කර තිබූ දානමය පින්කමකට සහභාගී වීමට යතුරුපැදියෙන් යමින් සිටියදී කෑගල්ල උසාවිය හන්දියේදී මෙම අනතුර සිදුව ඇත.

සැමියා හෙළි කළ බිහිසුණු අත්දැකීම

කෑගල්ල මහ රෝහලේදී පැවති හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් සැමියා පැවසුවේ, මාර්ගයේ පැවති වාහන තදබදය අතරතුර පෞද්ගලික බස් රථයක් පැමිණ දෙවරක්ම සිය යතුරුපැදියේ ගැටුණු බවයි. ඉන් යතුරුපැදිය පෙරළී තමා ඊට යටවූ බවත්, අනතුරුව නැඟිට බලන විට බස් රථයේ වම් පස ඉදිරිපස රෝදය බිරිඳගේ බෙල්ල මත තිබෙනු දුටු බවත් ඔහු කියා සිටියේය.

වහාම බස් රථය පසුපසට ගත් පසු ඇයව ත්‍රිරෝද රථයකින් කෑගල්ල මහ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළද සුළු මොහොතකින් ඇය මියගොස් තිබේ.

“මම බයිසිකලයට යට වෙලා ඉන්නකොට කවුද ඇවිල්ලා බයිසිකලේ ඉස්සුවා. පස්සේ මම නැඟිටලා චතුරිකා කෝ කියලා බැලුවා. ඒ බලනකොට බයිසිකලේ පිටිපස්සේ තිබුණු බස් එකේ වම් පැත්තේ ඉදිරි රෝදය චතුරිකාගේ බෙල්ල උඩ තියෙනවා දැක්කා,”දිලීප සංජීව ප්‍රනාන්දු

මරණ පරීක්ෂණයේ තීන්දුව

කෑගල්ල හදිසි මරණ පරීක්ෂක රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය ඉදිරියේ මෙම මරණ පරීක්ෂණය පැවැත්විණි. කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය මංගල කුමාර මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර, උර කුහරයට සිදුවූ බහුවිධ හානි හේතුවෙන් මෙම හදිසි අනතුරු මරණය සිදුව ඇති බවට එහිදී තීන්දු කෙරිණි.