අද (13) දිනයේදී රට තුළ පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩු වීමක් දැකගත හැකි වනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබේ.

නැගෙනහිර පළාතට මෙන්ම මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

සවස වැසි සහ මීදුම ගැන අනතුරු ඇඟවීමක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව සඳහන් වේ.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් සමහර ප්‍රදේශවල අළුයම් කාලයේදී මීදුම් සහිත කාලගුණයක් දැකගත හැකි බව කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං මෙන්ම අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.