රාජ්‍ය අංශයේ ඉදිකිරීම්වලදී පෞද්ගලික ආයතන සහ රාජ්‍ය ආයතන අතර පවතින ගැටලු නිරාකරණය කරමින් බාධා ඉවත් කිරීමේ අරමුණින් “Builders’ Gateway” ඉදිකිරීම් කර්මාන්ත පහසුකම් මධ්‍යස්ථානය අද (20) පෙරවරුවේ විවෘත කර තිබේ. නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණු අතර ඊට සමගාමීව නව වෙබ් අඩවියක්ද එළිදැක්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් මත මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත්තේ VIYASA ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානයට අනුබද්ධවයි.
ගැටලු ඉදිරිපත් කළ හැකි ආකාරය
ඉදිකිරීම් ක්ෂේත්රයේ නිරත ව්‍යාපාරිකයන්ට තමන්ගේ ගැටලු https://nbfc.presidentsoffice.gov.lk/ වෙබ් අඩවිය ඔස්සේ හෝ ඊ-මේල් මගින් ඉදිරිපත් කිරීමට පහසුකම් සලසා ඇත.
ඊට අමතරව 011 267 2750 දුරකථන අංකය, 077 354 3495 වට්ස්ඇප් අංකය මෙන්ම C80, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත, කොළඹ 07 ලිපිනයට තැපෑලෙන් හෝ පැමිණීමෙන්ද අදාළ කරුණු ඉදිරිපත් කළ හැකි බව සඳහන් වේ.
“මේ “Builders’ Gateway” ආයතන බිහිකිරිම තුළින් මහාපරිමාණ ඉදිකිරීම්වල සිට ඉතාමත් කුඩාම ඉදිකිරීම දක්වා සියලුම ඉදිකිරිම්වලදී බලපාන ගැටලුවලට අදාළ සමාගම් වෙනුවෙන් අවශ්‍ය මැදිහත් වීම නොමිලේම සිදුකර දීමට මේ ආයතනය මැදිහත් වෙනවා.”නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ
ඉදිකිරීම්වලට නව පණක්
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සඳහන් කළේ 2027 වසරේ අයවැය තුළින් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කර ඇති රුපියල් බිලියන 2,000න් වැඩි කොටසක් ඉදිකිරීම් පහසුකම් වෙනුවෙන් ලැබෙන බවයි. කුඩාම ඉදිකිරීමේ සිට මහාපරිමාණ ඉදිකිරීම් දක්වා බලපාන ගැටලුවලදී අදාළ සමාගම් වෙනුවෙන් නොමිලේ මැදිහත් වීමට මෙම ආයතනය ක්‍රියා කරන බවද ඔහු පැවසීය.
වියාසා මධ්‍යස්ථානයට මේ වන විට ලැබුණු ගැටලු 186න් 150ක් පමණ විසඳා අවසන් කර ඇති බව පැවසූ ජනාධිපති ලේකම්වරයා, ඉදිකිරීම් ක්ෂේත්රයේ ගැටලු විසඳා බාධා ඉවත් කිරීම වෙනුවෙන් මෙම නව පියවර ගත් බව පෙන්වා දුන්නේය.






