අද (20) පෙරවරුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මේ බව සඳහන් කළේය. ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළදී උද්ධමනය කෙටි කාලීනව ඉහළ මට්ටමක පවතිනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

මිල ඉහළ යාමට බලපෑ හේතු

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පැවතීම මෙම උද්ධමන වර්ධනයට මූලිකවම බලපා ඇති බව මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.

පසුගිය මාසය අවසන් වනවිට මෙරට උද්ධමනය 8.3%ක් ලෙස සටහන්ව තිබූ බවද ඔහු මෙහිදී සිහිපත් කළේය.

ජන ජීවිතයට එල්ල වන බලපෑම

උද්ධමනය 5% මට්ටමට කඩිනමින් රැගෙන ඒම අතිශය වැදගත් බව පැවසූ අධිපතිවරයා, උද්ධමනය වැඩිවීමෙන් රටේ ආර්ථිකයට මෙන්ම සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වයට සහ ඔවුන්ගේ මිලදී ගැනීමේ ශක්තියටද දැඩි පීඩනයක් එල්ලවන බව අවධාරණය කළේය.

කෙසේ වෙතත්, ඉදිරි මාස කිහිපය තුළදී උද්ධමන අනුපාතය තවදුරටත් ඉහළ ගියත්, 2027 වසරේ දෙවැනි භාගය වනවිට එය නැවත ක්‍රමයෙන් පහළ යනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.