ලෝක බැංකුවේ මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක වන "ප්‍රාථමික සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය" වෙත ලැබුණු නව Toyota වර්ගයේ ඩබල් කැබ් රථ 10 ක් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ (RDHS) කාර්යාල 10 ක් වෙත නිල වශයෙන් ප්‍රදානය කිරීම පසුගියදා සිදු කෙරිණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී මෙම රථ භාරදීම සිදු වූයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

වාහන ලැබුණු ප්‍රදේශ සහ භාවිත වන අරමුණු

ග්‍රාමීය මෙන්ම ප්‍රාදේශීය මට්ටමින් බෝ නොවන රෝග (NCD) මර්දනය කිරීම සහ මානසික සෞඛ්‍ය ඇතුළු ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් වඩාත් කාර්යක්ෂම අයුරින් ජනතාව වෙත ගෙන යාමට මෙම වාහන යොදා ගැනීමට නියමිත බව සඳහන් වේ.

නුවරඑළිය, පුත්තලම, මොනරාගල, පොළොන්නරුව, කළුතර, මාතර, රත්නපුර, ත්‍රිකුණාමලය සහ යාපනය යන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලවලට මෙන්ම කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය වෙත ද මෙම නව කැබ් රථ ලබා දී තිබේ.

විශේෂ පිරිසකගේ සහභාගිත්වය

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ප්‍රාථමික සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය ලලිත් ලියනගේ යන මහත්වරුන් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ Toyota Lanka සමාගමේ නියෝජිත පිරිසක් එක්ව සිටියහ.