කොළඹ - නුවර ප්රධාන මාර්ගයේ වරකාපොළ මාහේන ප්රදේශයේදී අද (07) පස්වරුවේ බිහිසුණු රිය අනතුරක් සිදුව තිබේ. මෙම අනතුර හේතුවෙන් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය ප්රකාශ කළේය.
අනතුරින් තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් වහාම වරකාපොළ රෝහල වෙත ඇතුළත් කර ප්රතිකාර ලබන බව වාර්තා වේ.
අනතුර සිදුවූ ආකාරය සහ නීතිමය පියවර
කොළඹ දෙස සිට නුවර දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් ඉදිරියෙන් ගමන් කළ තවත් වාහනයක් පසු කිරීමට උත්සාහ කර ඇත. එහිදී නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බස් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරට ලක්වූ වෑන් රථයේ රියදුරු තුවාල ලබා රෝහල්ගතව ප්රතිකාර ලබන බව වැඩිදුරටත් වාර්තා වේ.






