ශ්‍රී ලංකාවේ ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (AHK Sri Lanka) සහ ජර්මානු තානාපති කාර්යාලය එක්ව කොළඹදී පැවැත්වූ ‘Top German Brands-2026 The Ball Edition’ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කර තිබේ.
පසුගිය කාලයේ මුහුණ දුන් අසීරු ආර්ථික තත්ත්වයෙන් පසු රට මේ වන විට ආර්ථික ස්ථාවරත්වයක් අත්පත් කරගෙන ඇති බවත්, ඉදිරි කාලයේදී ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම රජයේ බලාපොරොත්තුව බවත් ඔහු එහිදී පැවසීය.
නව වෙළෙඳ ගිවිසුම් හා සුළු ව්‍යාපාරිකයන්ට අත්වැලක්
අපනයන ආර්ථිකය පුළුල් කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළ සබඳතා ශක්තිමත් කළ යුතු බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, 2029 වන විට පවතින වෙළෙඳ බාධක ඉවත් කරමින් නව වෙළෙඳ ගිවිසුම් සඳහා අවස්ථා පුළුල් කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කළේය.
එමෙන්ම මෙරට සුළු හා මධ්‍ය කර්මාන්ත 300-400ක් අතර ප්‍රමාණයක් ජාත්‍යන්තර වෙළෙඳපොළට යොමු කිරීමේ වැඩපිළිවෙළක් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක වන බවත්, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය හා මූල්‍ය කළමනාකරණය ලබාගැනීමට ජර්මානු ව්‍යාපාරිකයන් ඇතුළු ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහයෝගය බලාපොරොත්තු වන බවත් සඳහන් විය.
තාක්ෂණය සහ යටිතල පහසුකම් සංවර්ධනය
අඩු ශ්‍රම පිරිවැයක් සහිත නිෂ්පාදනවලින් ඔබ්බට ගොස් උසස් තාක්ෂණය හා ඉහළ වටිනාකම් එකතු කළ නිෂ්පාදන කර්මාන්ත වෙත යොමුවීමේදී ජර්මනියේ සහයෝගය බෙහෙවින් වැදගත් වන බව පෙන්වා දී තිබේ. ඒ වෙනුවෙන් යටිතල පහසුකම් මෙන්ම වරාය හා ගුවන්තොටුපළ ධාරිතාව වැඩි කිරීමටත් රජයේ අවධානය යොමුව ඇති බව ප්‍රකාශ විය.
මෙම අවස්ථාවට ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් (Dr.Felix Neuman), AHK Sri Lanka ප්‍රධානි මාර්ටින් ක්ලෝස් (Martin Klose) සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක ඇතුළු පිරිසක් එක්ව සිටි බව වාර්තා වේ.






