ලන්ඩන් බලා පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූඑල් 503 යානය ගුවන්ගත වීමට ඔන්න මෙන්න කියා තිබියදී නියමුවන්ට එය අතරමඟ නවතා දැමීමට සිදුවූ බව වාර්තා වේ. ඊට හේතු වී ඇත්තේ යානයේ එක් එන්ජිමක මුහුදු රාජාලියෙකු ගැටීමයි.

මෙම අනතුර නිසා ගුවන් යානයේ එන්ජිමේ තල කිහිපයකට හානි සිදුව ඇති බව ගුවන් සේවා ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග පවසයි. ඒ අනුව අදාළ අලුත්වැඩියාවන් සඳහා රක්ෂණ වන්දියක් ඉල්ලා සිටීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සතුන් මරා දැමීම ප්‍රායෝගික නැහැ

ගුවන් පථයට පැමිණෙන පක්ෂීන් හෝ සුනඛයන් වැනි සතුන් වෙඩි තබා ඝාතනය කිරීම වැනි ක්‍රියාමාර්ග ගැනීම මෙරට තුළ ප්‍රායෝගික නොවන බව අදාළ ආරංචි මාර්ග පෙන්වා දෙයි. සත්ත්ව අයිතීන් සුරැකීමේ ක්‍රියාකාරීන්ගේ බලපෑම් මෙන්ම මෙරට සමාජය තුළ පවතින සංස්කෘතික කරුණු ඊට ප්‍රධාන හේතු වී තිබේ.

මේ අතර සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය මගින් මීට පෙර පත් කර තිබූ වනජීවී උපද්‍රව කළමනාකරණ කමිටුව වෙත මෙම සිදුවීමත් සමඟ යළි දැඩි අවධානයක් යොමු කර ඇත. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සිවිල් ගුවන් සේවා අධිකාරිය, ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම මෙන්ම අදාළ අමාත්‍යාංශයේ නියෝජිතයන්ගෙන් මෙම කමිටුව සමන්විතය.

“අපට අවශ්‍ය වන්නේ කුරුල්ලන් හෝ වෙනත් ඕනෑම සතෙකුගෙන් සිදු විය හැකි අනතුරු වළක්වා ආරක්ෂාව තහවුරු කිරීමයි,”වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක

අනෙක් ගුවන් තොටුපළවල් ගැනත් අවධානය

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට අමතරව මත්තල, මඩකලපුව සහ රත්මලාන යන ගුවන් තොටුපළවල් ද ජාත්‍යන්තර මට්ටමින් ප්‍රකාශයට පත් කර ඇති බැවින් වන සතුන්ගෙන් එල්ල වන අවදානම කළමනාකරණය කිරීම අතිශය වැදගත් වී තිබේ.

සියලු ආකාරයේ වන සතුන්ගෙන් එල්ල වන තර්ජන වළක්වා ගැනීමට කමිටුව අදාළ පාර්ශ්වයන් සමඟ එක්ව කටයුතු කරන බව වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසීය. මත්තලදී වන අලින්ගෙන් විය හැකි අනතුරු පිළිබඳව අවධානය යොමු කර ඇති අතර මොණරුන්ගෙන් එල්ල වූ බලපෑම මේ වනවිට පාලනය කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.