වර්තමානයේ බුදු දහම මුහුණ දෙන අභියෝග හා තර්ජන වෙනුවෙන් හඬ නඟමින්, ලබන 11 වැනිදා ඓතිහාසික මිහින්තලේ කටු සෑය ඉදිරිපිට දැවැන්ත සත්‍යග්‍රහයක් මෙන්ම අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට තීරණය කර ඇත. මෙම වැඩසටහන මෙහෙයවනු ලබන්නේ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ප්‍රමුඛ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසිනි.

කොළඹ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව තොරතුරු අනාවරණය විය. වත්මන් පාලනය තුළ බුදු දහමේ අයිතීන් රැකගැනීම සඳහා මෙම පියවර ගත් බවත්, ජාතිය සහ ආගම මුහුණ දී සිටින ගැටලුවලට අවධානය යොමු කරවීම මෙහි මූලික අරමුණ බවත් එහිදී ප්‍රකාශ විය.

නිරාගමික චෝදනා සහ ඥානසාර හිමියන්ගේ නිදහස

වත්මන් රජය නිරාගමික මෙන්ම බෞද්ධ විරෝධී ස්ථාවරයක සිටින බවට පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ මෙහිදී චෝදනා කළහ. නිරාගමික පාලකයින්ට රට පාලනය කළ නොහැකි බව සඳහන් කළ උන්වහන්සේ, දැනට සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් මහා නායක ස්වාමීන් වහන්සේලා වහා මැදිහත් විය යුතු බවද පෙන්වා දුන්හ.

මෙම සියලු කටයුතු සිදු කරන්නේ සම්මේලනයේ ආශිර්වාදය මැද ශාසනික අරමුණකින් පමණක් බවත්, මෙහි කිසිදු දේශපාලන අරමුණක් නොමැති බවත් උලපනේ සුමංගල හිමියෝ තහවුරු කළහ.

දේශපාලනයක් නෑ කියන සම්මේලනය

මාධ්‍ය හමුවට එක්වූ එම සංවිධානයේ සභාපති චන්ද්‍රා නිමල් වාකිෂ්ඨ මහතාද පැවසුවේ මෙම වැඩපිළිවෙළ පිටුපස කිසිදු දේශපාලන අරමුණක් නැති බවයි. එමෙන්ම නියෝජ්‍ය සභාපති රොෂාන් මද්දුමගේ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

මහජන කේන්ද්‍රය නැමැති සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කැලුම් ජයසුමන මහතා ප්‍රකාශ කළේ තම සංවිධානයද 11 වැනිදා පැවැත්වෙන සත්‍යග්‍රහයට එක්වන බවයි. පසුගියදා පූජ්‍ය කස්සප හිමියන්ට හෙල්මට් බලකායක් විසින් යතුරුපැදි හිස්වැසුමකින් පහරදීමේ සිදුවීමක්ද ඔහු එහිදී මතක් කර දුන්නේය.