වන අලි ඇතුන්ගේ ජීවිත ආරක්ෂා කරමින්, මිනිස් ජීවිත හා දේපළ සුරක්ෂිත කිරීමේ අරමුණින් ‘හස්ති සේනා’ ජාතික මෙහෙයුම ක්‍රියාත්මක වේ. මේ යටතේ තිරප්පනය ප්‍රදේශයේ අද (14) දියත් කළ විශේෂ මෙහෙයුම පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන්ගේ නිරීක්ෂණයට ලක් විය.

මෙහෙයුමේ ප්‍රගතිය මෙන්ම එය බිම් මට්ටමේ ක්‍රියාත්මක වන ආකාරය ද අමාත්‍යවරුන් දෙපළගේ සෘජු අවධානයට යොමු වූ බව වාර්තා වේ.

මෙහෙයුම ආවරණය වූ ප්‍රදේශ රැසක්

ගල්කුලම, ගැටමාලාකන්ද, මුරියාකඩවල, පෙරියමියන්කුලම, කිරින්දේගම, නිරාවිය, තලගුලු විහාරය, නබඩවැව, වන්නන්කුලම, ඔරුක්කන්කුලම සහ කුට්ටිමඩුව ඇතුළු ගම්මාන රැසක් ආවරණය වන පරිදි මෙම මෙහෙයුම සිදු කර තිබේ.

අලි මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් ලබාදීමටත්, වන අලි සම්පත මෙන්ම ග්‍රාමීය ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමටත් රජය ප්‍රමුඛත්වය ලබාදී ඇති බව මෙහිදී පරිසර අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ සඳහා ආරක්ෂක අංශ සහ වනජීවී නිලධාරීන්ගේ ඒකාබද්ධ දායකත්වය අතිශය වැදගත් බව ද ඔහු පෙන්වා දුන්නේය.

යුද හමුදාවේ පූර්ණ සහයෝගය

පරිසර අමාත්‍යාංශයේ මඟපෙන්වීම අනුව මෙම මෙහෙයුම දියත් කර ඇත්තේ 212 වන පාබල බලසේනාව යටතේ පවතින 7 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ප්‍රධාන දායකත්වයෙනි.

21 වන සේනාංකයේ සේනාංකාධීපති මේජර් ජෙනරල් කමින්ද සිල්වා සහ 212 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුරංග බස්නායකගේ අධීක්ෂණය යටතේ කටයුතු සංවිධානය විය. 7 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ප්‍රභාත් අබේවික්‍රමගේ මෙහෙයවීමෙන් සහ බලඝණාධිපති මේජර් දිමුතු මුල්ලේවිදානගේ සහභාගීත්වයෙන් යුතුව යුද හමුදා නිලධාරීන් 07 දෙනෙකු සහ සෙසු නිලයන් 68 දෙනෙකු ඇතුළුව 75 දෙනෙකුගෙන් යුත් හමුදා කණ්ඩායමක් මේ සඳහා එක්ව සිටියහ.