ඕමානයේ පැවැත්වෙන ආසියානු වයස 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (14) පැවැත්වෙයි. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 337ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේය.

පසුගිය වසරේදී තමන් අතින් ගිලිහී ගිය ශූරතාව නැවත තමන් සතු කරගැනීමට නම් ඉන්දීය යොවුන් පිලට මෙවර ලකුණු 338ක ඉලක්කයක් හඹා යාමට සිදුව තිබේ.

පාකිස්තාන පිතිකරුවන්ගේ දස්කම්

පාකිස්තාන ඉනිම ශක්තිමත් කළ ආරම්භක පිතිකරු උස්මාන් ඛාන් විශිෂ්ට ශතකයක් වාර්තා කරමින් ලකුණු 107ක් රැස්කළේය.

ඔහුට සහයෝගය දුන් අබ්දුල් කාදිර් ලකුණු 80ක් ද, නායක ෆර්හාන් යූසෆ් ලකුණු 63ක් ද ලබාගනිමින් අර්ධ ශතකවලින් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

පසුගිය වසරේ අවසන් සටන

වත්මන් ශූරයන් වන පාකිස්තානය පසුගිය වසරේ පැවති අවසන් මහා තරගයේදී ද ඉන්දියාව ලකුණු 191කින් පරාජය කරමින් කුසලානය දිනාගත්තේය.

එම අවසන් තරගයේදී ද පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය ලකුණු 347ක් රැස්කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට ලබාගත හැකිවූයේ ලකුණු 156ක් පමණි.