2018–2021 කාල සීමාවේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති 72ක් අතරමඟ නතර වී ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේදී කාරක සභාව රැස් වූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරිණි.
මෙම අතරමඟ නතර වූ ව්‍යාපෘති 72 සඳහා රුපියල් මිලියන 1,664ක මුදලක් වැය කර ඇති බව එහිදී හෙළි විය. මින් ව්‍යාපෘති 35ක් මේ වන විට අවසන් කර ඇති අතර, 13ක වැඩ කටයුතු සිදුවෙමින් පවතී. කෙසේ වෙතත්, කොන්ත්‍රාත්තු ගැටලු මත ව්‍යාපෘති 20ක් නතර වී ඇති අතර තවත් ව්‍යාපෘති 4ක් අත්හිටුවා ඇති බව නිලධාරීහු සඳහන් කළහ.
ජාතික පාසල් ව්‍යාපෘතිය සහ පරිගණක නඩුව
2019 වසරේදී එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට ජාතික පාසල් තුන බැගින් පිහිටුවීමේ වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 1,600කට ආසන්න මුදලක් ලබා දී තිබුණි. එහෙත් ප්‍රතිපත්තිමය තීරණ මත එම වැඩසටහන නතර කර ඇති බැවින්, එක් එක් පාසලට දුන් මුදල් සහ කළ වැඩ ගැන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාව උපදෙස් දුන්නේය.
මේ අතර, අමාත්‍යාංශය ඇණවුම් කළ පරිගණක තොගයක් තාක්ෂණික පිරිවිතරයන්ට නොගැළපීම හේතුවෙන් භාරගෙන නොමැති බවත්, ඒ වෙනුවෙන් මුදල් ගෙවා නොමැති පසුබිමක සැපයුම්කරු විසින් අධිකරණයේ නඩු දෙකක් පවරා ඇති බවත් එහිදී අනාවරණය විය.
NEMIS පද්ධතිය සහ පැනනැඟී ඇති බාධා
ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය (NEMIS) හරහා ගුරු තොරතුරු සහ සිසුන්ගේ ඇගයීම් දත්ත ඇතුළත් කිරීමට ප්‍රමුඛතාව දී ඇති අතර, පළාත් කිහිපයක ගුරු ස්ථාන මාරු දැනටමත් ඒ ඔස්සේ සිදුවන බව සඳහන් විය. මෙම පද්ධතිය සියලු පළාත් සහ ජාතික පාසල් වෙත ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ.
ඇස්තමේන්තු ප්‍රමාදයන්, තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය සහ ටෙන්ඩර් ගැටලු ප්‍රාග්ධන ප්‍රතිපාදන භාවිතයේදී බාධාවක් වී ඇති බවද, විගණන විමසුම් ප්‍රමාදයන් වහා විසඳීමට පියවර ගන්නා ලෙස කාරක සභාව දැනුම් දුන් බවද පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.






