අයවැය මඟින් වෛද්‍යවරුන් බලාපොරොත්තු වූ කරුණු ඉටු නොවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එළැඹෙන සඳුදා (23) සියලු ශාඛා සමිති කැඳවා ඇත. එදින දහවල් 12 සිට 2 දක්වා මෙම රැස්වීම පැවැත්වෙන අතර, එම වේලාවේදී හදිසි ප්‍රතිකාර සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බව එම සංගමය සඳහන් කරයි.
ඉදිරියේදී ගන්නා වෘත්තිය ක්‍රියාමාර්ග තීරණය කිරීමේ බලය විධායක සභාවට පවරා ඇති බවද වාර්තා වේ. පසුගිය වසර දෙක තුළ හිමි දීමනාවලින් කොටසක් කැපකර රුපියල් ලක්ෂ 44,000කට අධික මුදලක් රටට ඉතිරි කළද, පසුගිය නොවැම්බර් 12 වැනි දින ඉදිරිපත් කළ අයවැයෙන් වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් නොසලකා හැරීම නිසා වෛද්‍ය ප්‍රජාව දැඩි අප්‍රසාදයට පත්ව සිටින බව එම සංගමය පෙන්වා දෙයි.
අයවැයෙන් ඉල්ලූ ප්‍රධාන කරුණු 5
පසුගිය 19 වැනි දින පැවති හදිසි මධ්‍යම කාරක සභාවේදී අයවැය හරහා දිනාගැනීමට යෝජනා වූ ප්‍රධාන කරුණු 5ක් ගැනද සංගමය කරුණු හෙළි කර තිබේ. 2018 වසරේ අනුමත සමස්ථ DAT දීමනාව වහාම ලබාදීම, DAT දීමනාව සහ අමතර රාජකාරි හෝ නිවාඩු දින දීමනා බදුවලින් නිදහස් කිරීම ඊට ඇතුළත්ය.
ඊට අමතරව වසර 2ක් පුරා අත්හිටුවා ඇති අමතර රාජකාරි හා නිවාඩු දින දීමනාවන්වලින් 1/3ක් නැවත ගෙවීම, සුදුසුකම් ඇති වෛද්‍යවරුන් 22/99 චක්‍රලේඛය අනුව ප්‍රවාහන පහසුකම් සඳහා අන්තර්ග්‍රහණය කිරීම සහ බදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ක්‍රියාත්මක කිරීම එම යෝජනා අතර වෙයි.
ඊළඟට කුමක්ද?
ඉදිරි සතිය තුළදී මෙම කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ලබාගැනීමටත්, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනතාව දැනුවත් කිරීමටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම් වෙයි.






