අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉන්දීය බුද්ධි අංශයේ සාමාජිකාවක් බවටත්, වත්මන් රජය ඉන්දියාවේ දේශපාලන අවශ්‍යතා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරමින් සිටින බවටත් බලංගොඩ කස්සප හිමියෝ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළහ. අනුරාධපුර පූජා නගරයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණවලට එරෙහිව භික්ෂූන් වහන්සේලා පිරිසක් සමග අනුරාධපුරයේ පැවැත්වෙන අඛණ්ඩ සත්‍යග්‍රහය අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.
ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන අග්‍රාමාත්‍යවරිය ඉන්දියාවේ දේශපාලන අරමුණු ඉටුකිරීමට පෙනී සිටින බව පැවසූ උන්වහන්සේ, ඇයගේ පෞද්ගලික ජීවිතය ද විවේචනය කරමින් පවුලක් හෝ දරුවන් නොමැති කාන්තාවක් රටේ අනාගතය දෙස බලන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියහ.
රජයට සහ ගැසට් නිවේදනයට එල්ල වූ චෝදනා
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවට හිතවත් රූකඩ පාලකයෙකු ලෙස හැඳින්වූ කස්සප හිමියෝ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ උවමනාවට මෙරට සංස්කෘතික උරුමයන් කොල්ලකෑමේ සැලැස්මක් ක්‍රියාත්මක වන බවට ද පැවසූහ. අනුරාධපුර පූජා නගරය වෙනුවෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ ඇති සංස්කෘතික හානිය වචනයෙන් වචනය ගෙන පැහැදිලි කිරීමට සූදානම් බව ද උන්වහන්සේ සඳහන් කළහ.
උදෑසන මෙරටින් සහ දහවල් දිල්ලියෙන් ආහාර ගන්නා පාලකයන්ගෙන් රටට යහපත් අනාගතයක් බලාපොරොත්තු විය නොහැකි බවත්, අනුරාධපුරයට හානියක් සිදුවන්නේ නම් ඊට එරෙහිව සියලු භික්ෂු භික්ෂුණීන් එක්විය යුතු බවත් උන්වහන්සේ ප්‍රකාශ කර සිටියහ.
විවෘත අභියෝගය සහ ඉදිරි තීරණය
තමන්ගේ ක්‍රියාමාර්ගයට විරුද්ධ වන ඕනෑම පාර්ශ්වයකට රුවන්වැලිසෑය සහ ශ්‍රී මහා බෝධිය ඉදිරිපිටදී විවාදයකට පැමිණෙන ලෙස උන්වහන්සේ අභියෝගයක් කළහ. එදා වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් බ්‍රිතාන්‍ය කොඩිය බිම හෙළා සිංහල කොඩිය එසවූවාක් මෙන් අද ඉන්දීය කොඩිය බිම දමා සිංහල කොඩිය එසවීමට තමන් සූදානම් බව උන්වහන්සේ අවධාරණය කළහ.
ඉන්දියානු ආක්‍රමණයකට එරෙහිව මුල්ම ජීවිත පූජාව කිරීමට මෙන්ම සිරගත වීමට වුවද සූදානම් බව පැවසූ උන්වහන්සේ, කිසිවෙකුට මෙම සටන නැවැත්විය නොහැකි බවත් එය ජයග්‍රහණයෙන්ම අවසන් කරන බවත් වැඩිදුරටත් කියා සිටියහ.






