පසුගිය නොවැම්බර් 08 වැනිදා මාලබේ, අරංගල ප්‍රදේශයේ පැවති උත්සවයකදී කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මහතා දැක්වූ අදහස් කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක්ව තිබේ. වත්මන් පාලනය බලයට පැමිණි පසු 'මේ ඉන්නේ කන බොන අය නෙමෙයි' යන මතය නිසා පෞද්ගලික ආයතනවලින් සාම්ප්‍රදායිකව ලැබෙන දෙසැම්බර් ත්‍යාග පාර්සල් ලැබීම නතර වී ඇති බව ඔහු එහිදී සඳහන් කර ඇත.

තමන් ඇතුළු පිරිසත් හොඳට කන බොන අය බවත්, ආයතනයක් සිය නිෂ්පාදනවලින් කොටසක් තෑගි ලෙස දීමේ සිරිතක් තිබුණේ නම් එය ඉදිරියටත් පවත්වාගෙන යන ලෙසත් ඔහු එහිදී විවෘතව ඉල්ලා සිටි බව වාර්තා වේ. තමන් බලය ලබාගැනීමට ජීවිත පවා කැප කළ නිසා දුක් විඳින අවසන් පිරිස තමන් විය යුතු බවද ඔහු පවසා තිබුණි.

කැබිනට් ප්‍රකාශකගේ ස්ථාවරය

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මේ ගැන ප්‍රශ්න කළ විට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ යම් පාර්ශ්වයකින් පැමිණිල්ලක් ආවොත් ඒ ගැන පක්ෂ අභ්‍යන්තරයෙන් අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවයි.

සමාජ මාධ්‍යවල සංසරණය වන කෙටි වීඩියෝවෙන් පමණක් ඔහුගේ සැබෑ අදහස තේරුම් ගත නොහැකි බවත්, ඒ සඳහා සම්පූර්ණ ප්‍රකාශයම සොයා බැලිය යුතු බවත් අමාත්‍යවරයා පැවසීය. ජාතික ජන බලවේගයේ කිසිදු නියෝජිතයෙකු අල්ලස් හෝ දූෂණවලට සම්බන්ධ නොවන බවට තමන් තුළ විශ්වාසයක් පවතින බවද ඔහු අවධාරණය කළේය.

“අපිත් හොඳට කන බොන මිනිස්සු. නගර සභාවට ගියාට පස්සේ කාලා තියෙන දේවල් අපි දන්නවා,”රංජන් ජයලාල්

අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

මේ අතර 'අල්ලස හා දූෂණයට එරෙහි පුරවැසි බලය' සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා විසින් අද (10) දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

කඩුවෙල නගරාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස එම පැමිණිල්ල මඟින් ඉල්ලා තිබේ.