ඉදිකිරීම් කර්මාන්තයේ නිරත රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශවලට රාජ්‍ය ආයතන ආශ්‍රිතව මතුවන පරිපාලනමය බාධා හා ගැටලු විසඳීම සඳහා ‘Builders’ Gateway’ ඉදිකිරීම් කර්මාන්ත සහාය මධ්‍යස්ථානය අද (20) විවෘත කෙරිණි.
කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි ‘වියසා’ මධ්‍යස්ථානයේදී මෙම විවෘත කිරීම සිදු වූ අතර, ඊට අදාළ නිල වෙබ් අඩවිය ජනගත කිරීමද නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහ ජනාධිපති ලේකම් නන්දික සනත් කුමාරනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
සංවර්ධන අයවැය සහ පෞද්ගලික අංශයේ දායකත්වය
2027 වසර සඳහා රුපියල් බිලියන 2,000ක සංවර්ධන අයවැයක් ඉදිරිපත් කර ඇති අතර, එම සංවර්ධන වැඩ කටයුතු සාර්ථකව නිම කිරීමට ඉදිකිරීම්කරුවන් මුහුණ දෙන ගැටලු අවම කිරීම සහ රජය සමග සෘජු සම්බන්ධීකරණයක් ඇති කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සඳහන් කළේ, රජයේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී 95%ක පමණ වැඩ කොටසක් පෞද්ගලික අංශය මගින් සිදුවන බවයි. ටෙන්ඩර්, ප්‍රසම්පාදන සහ ගිවිසුම් සම්බන්ධයෙන් සුළු, මධ්‍යම හා මහා පරිමාණ ව්‍යවසායකයන් ලබන ගැටලු නිරාකරණය කර ගැනීමට මෙම මධ්‍යස්ථානයෙන් පහසුකම් සැලසෙන බවද ඔහු පැවසීය.
සේවා ලබාගත හැකි ආකාරය
ඉදිකිරීම්කරුවන්, සැපයුම්කරුවන්, යන්ත්‍රෝපකරණ සපයන්නන්, සේවා සපයන්නන් මෙන්ම උපදේශන සමාගම් ඇතුළු ක්ෂේත්රයේ සියලු දෙනාටම සෘජුව පැමිණ හෝ මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ සම්බන්ධ වී අවශ්‍ය සේවාවන් ලබාගත හැකි බව වාර්තා වේ.






