යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීම සඳහා සංවිධානය කළ වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. පළාත් මට්ටමින් පවත්වන වැඩසටහන් මාලාවේ මංගල පියවර ඊයේ (22) දිනයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පැමිණි සේවායෝජකයින්, සේවා නියුක්තිකයින් මෙන්ම වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් එක්ව සිටියහ. එහිදී යෝජිත නව කම්කරු නීති ගැන තම අදහස්, ගැටලු සහ යෝජනා රජයට ඉදිරිපත් කිරීමට ඔවුන්ට ඉඩ ලැබුණි.

නව කම්කරු නීති සඳහා සාමාජිකයින් 17ක කමිටුවක්

වත්මන් ආර්ථික, සමාජීය සහ ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි පවතින නීති වෙනස් කර නව කම්කරු නීති පද්ධතියක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇත.

මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සාමාජිකයන් 17 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර තිබේ.

සේවක අයිතිවාසිකම් රැකීම, සේවායෝජක අවශ්‍යතා සලකා බැලීම, කාර්මික සබඳතා ශක්තිමත් කිරීම මෙන්ම ජාත්‍යන්තර ශ්‍රම ප්‍රමිතීන්ට ගැළපෙන පසුබිමක් හැදීම මෙහි ප්‍රධාන අරමුණු බව වාර්තා වේ. සියලු පාර්ශ්වයන්ගේ අදහස් සෘජුවම ලබාගැනීමට මෙම පළාත් මට්ටමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.