ඉන්දීය රජයට අයත් National Thermal Power Corporation (NTPC) Limited හි පූර්ණ අනුබද්ධ ආයතනයක් වන NTPC Vidyut Vyapar Nigam Limited (NVVN) මඟින් කැඳවූ තරගකාරී ජාත්‍යන්තර ටෙන්ඩර් ක්‍රියාවලියේදී අවම ලංසුව ඉදිරිපත් කරමින් මෙම අවස්ථාව දිනා ගැනීමට ලක්දනවි සමාගම සමත්ව ඇති බව වාර්තා වේ.

මේ අනුව මෙගාවොට් 57ක ස්වාභාවික වායු මත පදනම් වූ විදුලි බලාගාරය ඉදිකිරීමට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 75ක, එනම් දළ වශයෙන් රුපියල් බිලියන 25ක පූර්ණ වගකීම් සහිත (turnkey) ගිවිසුමකට එළඹ තිබේ. අදාළ ගිවිසුම ඉන්දියාවේ නොයිඩා හි පිහිටි NTPC කාර්යාල සංකීර්ණයේදී අත්සන් කර ඇත.

හෝප් ටවුන් හි ඉදිවන බලාගාරය

අන්දමන් දූපතේ පෝට් බ්ලෙයාර්හි හෝප් ටවුන් (Hope Town) හි මෙම බලාගාරය ඉදිවීමට නියමිතය. මෙමඟින් අන්දමන් දූපතේ විදුලි යටිතල පහසුකම් ශක්තිමත් කිරීම මෙන්ම LNG යටිතල පහසුකම් හරහා දිගුකාලීන බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීමට අපේක්ෂිතය.

මෙම ව්‍යාපෘතිය සඳහා විදුලි ජනක යන්ත්‍ර ෆින්ලන්තයේ Wärtsilä Corporation සමාගමෙන් සැපයෙන අතර සමස්ත ඉදිකිරීම් කටයුතු ලක්දනවි සමාගමේ ඉංජිනේරු කණ්ඩායම විසින් සිදු කරනු ලැබේ.

කලාපීය වෙළෙඳපොළ ජය ගැනීම

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ බලශක්ති සමාගමක් වන LTL හෝල්ඩිංග්ස් හි අනුබද්ධ ආයතනයක් වන ලක්දනවි සමාගම, මීට පෙර බංග්ලාදේශය, නේපාලය සහ මාලදිවයින යන රටවලද විදුලි බල ව්‍යාපෘති සාර්ථකව නිම කර පළපුරුද්දක් සහිත ආයතනයකි.

ඉන්දියාව වැනි දැඩි තරගකාරී වෙළෙඳපොළක ප්‍රධාන යටිතල පහසුකම් කොන්ත්‍රාත්තුවක් ශ්‍රී ලාංකික සමාගමකට හිමිවීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා රජයේ ප්‍රශංසාව පළ කළ බවද සඳහන් වේ.