දකුණු කොරියාවේ ජාතික සහතිකලත් බදු ගණකාධිකාරී විභාගයේ පළමු අදියරේදී ලකුණු 400 න් 397.5 ක් වැනි විශ්වාස කළ නොහැකි ඉහළ ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීම හේතුවෙන් 34 හැවිරිදි හන් වොන්-සොක් නමැති අපේක්ෂකයා කෙරෙහි දැඩි සැකයක් මතු විය. ඔහු ප්‍රශ්න 160 න් 159 කටම නිවැරදි පිළිතුරු ලබා දී තිබිණි.
මෙම අතිශය ඉහළ ලකුණු ප්‍රමාණය පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ දැඩි කතාබහක් නිර්මාණය විය. මුලදී ඔහු එම වංචා චෝදනා ප්‍රතික්ෂේප කළද, පසුව සිය නීතිඥ ලී දොන්-හෝ ගේ යූටියුබ් නාලිකාව ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් සියල්ල හෙළි කිරීමට තීරණය කළේය.
උසස් තාක්ෂණය යොදාගත් විභාග වංචාව
සිය පාපොච්චාරණයේදී හන් අනාවරණය කළේ විභාගයේ අදියර දෙකේදීම තමන් ජනක කෘත්‍රිම බුද්ධි (generative AI) තාක්ෂණය සහ ඉලෙක්ට්‍රොනික උපාංග භාවිත කළ බවයි. කුඩා රහස් කැමරාවක් ආධාරයෙන් විභාග ප්‍රශ්න පත්‍රයේ ඡායාරූප ලබාගෙන ඒවා AI පද්ධතියකට යොමු කළ බවත්, අනතුරුව සිය ස්මාර්ට් ජංගම දුරකථනයට පිළිතුරු ලබාගත් බවත් ඔහු පැහැදිලි කළේය.
තමන්ට හොඳ රැකියාවක් ලබාගෙන මුදල් උපයා දෙමාපියන් සතුටු කිරීමට අවශ්‍ය වූ බව හන් පැවසීය. සාධාරණ ලෙස විභාගයට පෙනී සිට සමත් වූ අනෙකුත් අපේක්ෂකයින්ගෙන් සමාව අයැද සිටි ඔහු, දෙවන ස්ථානයට පත්වූ අපේක්ෂකයා පිළිබඳව සිතා අවසානයේ මෙසේ පාපොච්චාරණය කිරීමට තීරණය කළ බව සඳහන් කළේය.
බලධාරීන්ගේ පියවර
මෙම හෙළිදරව්වෙන් පසු එරට රැකියා හා කම්කරු අමාත්‍යාංශය මෙන්ම මානව සම්පත් සංවර්ධන සේවය එක්ව හදිසි සාකච්ඡාවක් කැඳවීය. විභාග වංචා සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිත කර අසුවන අපේක්ෂකයින්ගේ සුදුසුකම් අවලංගු කිරීමටත්, වසර පහක කාලයක් සඳහා ඔවුන්ට නැවත විභාගයට පෙනී සිටීම තහනම් කිරීමටත් පියවර ගන්නා බව නිලධාරීහු අනතුරු ඇඟවූහ.
හන් සිය නීතිඥවරයා මාර්ගයෙන් ඉදිරිපත් කළ ලිඛිත පාපොච්චාරණය ලැබුණු බව සෝල් මෙට්‍රොපොලිටන් පොලිස් ඒජන්සිය තහවුරු කළ අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.






