ලොව පුරා කාගෙත් අවධානය දිනාගත් 51 හැවිරිදි බ්‍රිතාන්‍ය විකට නළුවෙකු මෙන්ම නිවේදකයෙකු වන රසල් බ්‍රෑන්ඩ් සම්බන්ධයෙන් ලන්ඩනයේ සදර්ක් ක්‍රවුන් උසාවිය තීරණාත්මක නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කර ඇත. සති තුනත් හතරත් අතර කාලයක් විභාග වූ නඩුවකින් පසුව, පැය අටහමාරක සාකච්ඡාවකින් අනතුරුව ජූරිය විසින් ඔහු එක් ස්ත්‍රී දූෂණයකට හා ලිංගික අතවර චෝදනා තුනකට වරදකරු බවට තීරණය කරන ලදී.

නඩු තීන්දුවෙන් පසු ඔහුට දීර්ඝ කාලීන සිරදඬුවමක් නියම වනු ඇති බව විනිසුරු ජස්ටිස් බෙනතන් ප්‍රකාශ කර තිබේ. සතු ධනය නිසා ඔහු රටින් පලා යාමේ ඉඩක් ඇති බව පෙන්වා දෙමින් ඇප ලබා දීමද ප්‍රතික්ෂේප විය.

ඔප්පු වූ චෝදනා සහ නිදහස් වූ කරුණු

2009 දී හැමර්ස්මිත් ඇපලෝ හි පැවති සංදර්ශනයකින් පසු මුණගැසුණු 21 හැවිරිදි රසිකාවියක් දූෂණය කිරීම, 2004 දී සෝහෝ හි බාර් එකකදී කාන්තාවකගේ පියයුරු මිරිකීම, 2004 හෝ 2005 කාලයේ ගුවන්විදුලි සේවිකාවකට කළ අතවරය සහ 2009 දී ව්‍යාපෘතියක් අතරතුර තවත් කාන්තාවකට කළ ලිංගික අතවරය යන සිදුවීම් හතරට ඔහු මෙසේ වරදකරු විය.

කෙසේ වෙතත්, 1999 දී බෝර්න්මත් හි හෝටලයකදී සිදු වූ බව කියන සිද්ධියක් සහ 2001 දී වූ තවත් චෝදනාවක් ඇතුළුව තවත් ස්ත්‍රී දූෂණ චෝදනා දෙකකින් සහ බරපතළ ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකින් ඔහු නිදොස් කොට නිදහස් කර තිබේ. තම කීර්තිය ලිංගික සබඳතා සඳහා යොදාගත්තද කිසිවිටෙකත් කාන්තා කැමැත්තෙන් තොරව එසේ නොකළ බව ඔහු උසාවියේදී කියා සිටියේය.

තවත් විමර්ශන ක්‍රියාත්මකයි

මේ අතර ඔහුට එරෙහිව තවත් ස්ත්‍රී දූෂණ චෝදනා දෙකක් පිළිබඳව මෙට්‍රොපොලිටන් පොලිසිය විමර්ශන පවත්වන බව වාර්තා වේ. ඉන් එක් චෝදනාවක් එල්ල වී ඇත්තේ ඔහුට වයස අවුරුදු 30ක් වන විට සබඳතාවක් පැවැත්වූ 16 හැවිරිදි පාසල් දැරියකගෙනි.

ඊළඟට කුමක්ද?

2026 නොවැම්බර් 9 වන සඳුදා දින ඔහුට දඬුවම් නියම කිරීමට නියමිතය.