ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවන් එස්. ධාගරියන් (Levan S. Dzhagaryan) මහතා ඊයේ (04) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය.

එම හමුවේදී රුසියානු සමූහාණ්ඩුවේ ෆෙඩරල් සභාවේ සම්මේලන මණ්ඩලයේ සභාපති වැලන්ටිනා මැට්වියෙන්කෝ (Valentina Matviyenko) මහත්මිය විසින් කථානායකවරයා වෙත යොමු කරන ලද නිල ආරාධනා පත්‍රය තානාපතිවරයා විසින් භාර දෙනු ලැබීය.

2027 වසරේ සංචාරය සහ සබඳතා ශක්තිමත් කිරීම

දෙපාර්ශ්වයටම පහසු දිනයකදී 2027 වසරේ රුසියානු සමූහාණ්ඩුවේ නිල සංචාරයක නිරත වන ලෙස කථානායකවරයාට මෙහිදී ආරාධනා කර තිබේ.

රුසියානු ෆෙඩරල් සභාවේ සම්මේලන මණ්ඩලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම ආරාධනය වැදගත් වනු ඇතැයි සාකච්ඡා වී ඇත. දෙරට අතර පාර්ලිමේන්තු සංවාදය ඉදිරියට ගෙන යාමට මෙන්ම පුළුල් ක්ෂේත්‍ර ගණනාවකින් ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීමටද මෙමගින් මග පෑදෙනු ඇති බව සඳහන් වේ.