ඉරානය සමඟ පවතින සාකච්ඡා සාර්ථක නොවුවහොත් නව වසර උදාවීමෙන් පසුව එරටට එරෙහිව යළිත් ප්‍රහාර ආරම්භ කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. විදෙස් මාධ්‍ය නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර ඇත.
ටෙහෙරානය සමඟ වක්‍ර සාකච්ඡා තවමත් සිදු කෙරෙන නමුත්, ඒවායේ කිසිදු ප්‍රගතියක් නොමැති වීම තමන්ගේ දැඩි කලකිරීමට හේතු වී ඇති බවද ජනාධිපතිවරයා පවසා තිබේ. එහිදී ඉරාන සාකච්ඡාකරුවන්ව ඔහු හැඳින්වූයේ 'වෘත්තීය මට්ටමේ නර්තන ශිල්පීන්' ලෙසිනි.
හෝමුස් සමුද්‍ර සන්ධියේ උණුසුම සහ නාවික අවහිරය
මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්රිත ප්‍රදේශයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය තවත් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ඉරාන වරායන් වෙත අමෙරිකාව විසින් නාවික අවහිරතාවක් පනවා තිබුණද, තෙල් ප්‍රවාහන නෞකා ඉලක්ක කර ගනිමින් ඉරානය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බව පැවසේ.
අමෙරිකාව පැනවූ මෙම නාවික අවහිරතාව බිඳ දැමීමට ඉරානය උත්සාහ කළ හැකි බවට එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ට්‍රම්ප් අනතුරු අඟවා ඇත්තේ, එම බාධකය පසුකර යාමට උත්සාහ කරන ඕනෑම ඉරාන නෞකාවකට ප්‍රහාර එල්ල කර ඒවා මුහුදුබත් කරන බවයි.
“ඔවුන් නිතරම කතා කරනවා. ඔවුන් කරන්නේ කතා කිරීම පමණයි. නමුත් ඒ සියල්ල විකාරයක්”ඩොනල්ඩ් ට්‍රම්ප්






