ශ්‍රී ලංකාව තම මව්බිම බව අභිමානයෙන් පැවසීමට මෙරට මුස්ලිම් ජනතාවට අයිතියක් ඇති බවත්, ඒ සඳහා කිසිවකුගෙන් අවසරයක් අවශ්‍ය නොවන බවත් හිටපු අමාත්‍ය නීතිඥ අලි සබ්‍රි සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ.

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස හැඳින්වීම පිළිබඳව කෝප වීමට කිසිදු හේතුවක් නොමැති බව පෙන්වා දෙන ඔහු, වසර දෙදහසකට අධික කාලයක් බුදුදහමින් පෝෂණය වූ සංස්කෘතික උරුමයේ කොටස්කරුවකු වීමට ලැබීම තමන්ට ද මහත් අභිමානයක් බව සඳහන් කර සිටියි.

ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන දැක්වූ අදහස්

මෑතකදී ආන්දෝලනයට තුඩු දුන් ප්‍රකාශය සිදු කළ තැනැත්තා කළේ තමන්ගේම ප්‍රකාශයක් බවත්, සමස්ත මුස්ලිම් ජනතාව වෙනුවෙන් කතා කිරීමට ඔහුට කිසිදු බලයක් නැති බවත් හිටපු අමාත්‍යවරයා අවධාරණය කරයි. එමෙන්ම එම ප්‍රකාශයෙන් සිත් රිදුණු ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්නා ලෙස ද ඔහු ඉල්ලා සිටී.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9, 10 සහ 12 වැනි ව්‍යවස්ථා මඟින් බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දෙන අතරම අන්‍ය ආගමික නිදහස හා සමානාත්මතාව සුරක්ෂිත කර ඇති ආකාරය ද ඔහු සිය සටහනින් මතක් කර දී ඇත.

“එක් අයකුගේ වචන මුළු මුස්ලිම් ප්‍රජාවටම පහර දීමට හේතුවක් කරගන්න එපා. ඔබේ මඟුලටත් අවමඟුලටත් පැමිණි, කරදරයකදී ඔබ ළඟින් සිටි මුස්ලිම් අසල්වැසියා ගැන මොහොතක් සිතන්න.”අලි සබ්‍රි

අසල්වැසි බැඳීම් ගැන මතක් කිරීමක්

එක් පුද්ගලයකු පැවසූ කරුණක් පදනම් කරගෙන සමස්ත මුස්ලිම් ප්‍රජාවටම පහර දීමට පෙලඹෙන්න එපා යැයි බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින හිටපු අමාත්‍යවරයා, දුකේදීත් සැපේදීත් ළඟින් සිටි මුස්ලිම් අසල්වැසියන් පිළිබඳව මොහොතක් සිතා බලන ලෙස ද වැඩිදුරටත් සඳහන් කර තිබේ.