ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රිකට් ක්‍රීඩාවෙන් ගොඩනැඟුණු මිතුදමට වසර 100ක් පිරීම වෙනුවෙන් සුවිශේෂී උත්සව මාලාවක් සංවිධානය කර ඇත. මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද (23) පස්වරුවේ MCA පරිශ්‍රයේදී පවත්වන ලදී.
මෙම විශේෂ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින් ද සහභාගි වූ බව වාර්තා වේ.
වෙලින්ටන් තරගය සහ විශේෂ සැමරුම්
දෙරට අතර සැලසුම් කර ඇති වැඩසටහන් මාලාව 2027 පෙබරවාරි 12 වැනිදා නවසීලන්තයේ වෙලින්ටන්හිදී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයට සමගාමීව ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන් වේ.
මෙහිදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන් 100 දෙනෙකු වෙනුවෙන් දින 11ක නවසීලන්ත සංචාරයක් සූදානම් කර ඇති අතර, 1996 ලෝක කුසලාන කණ්ඩායමේ සාමාජිකයන් ඇතුළත් අර්ජුන රණතුංගගේ කණ්ඩායම සහ නවසීලන්ත ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් අතර ප්‍රදර්ශන තරගයක් ද පැවැත්වීමට නියමිතය. මීට අමතරව දෙරට අතර ව්‍යාපාරික සබඳතා සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම ද මෙහි ප්‍රධාන අරමුණක් වී තිබේ.






