අයවැය මඟින් බදු අඩුකිරීමේ වාසිය පාසල් දරුවන්ට ලබාදෙමින් ලබන දෙසැම්බර් 01 වනදා සිට අභ්‍යාස පොත් මිල 18% කින් පහත දැමීමට තීරණය කළ බව ජාතික පොත් ව්‍යාපාරික සංගමය නිවේදනය කරයි. විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමයේ සභාපති ගාමිණී මොරගොඩ මහතා මේ තොරතුරු මාධ්‍ය වෙත හෙළි කළේය.

අයවැය සහන ජනතාවට දෙන හැටි

පොත්පත් සඳහා මෙතෙක් පනවා තිබූ 18% ක වැට් බද්ද ඉවත් කරන බවට ජනාධිපතිවරයා ඊයේ 2027 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසූ බවත්, එම තීරණය බෙහෙවින් අගය කරන බවත් සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

රජයේ එම තීන්දුව නීත්‍යානුකූලව ක්‍රියාත්මක වන්නේ කවදා සිටද යන්න තවමත් පැහැදිලි නොවුණත්, ජනතාවට සහනයක් සැලසීම වෙනුවෙන් එළඹෙන දෙසැම්බර් මස 01 වැනිදා සිටම පොත්පත් මිල 18% කින් පහත හෙළීමට තම සංගමය පියවර ගත් බව හෙතෙම කියා සිටියේය.

මෙම මිල අඩුවීම වඩාත් සරලව පැහැදිලි කරමින් ඔහු සඳහන් කළේ, සාමාන්‍යයෙන් රු. 10000.00 ක පොත් ලැයිස්තුවක් මිලදී ගැනීමේදී රු. 2000.00 කට ආසන්න මුදලක් මේ නිසා ඉතිරි කරගත හැකි බවයි.

ඊළඟට කුමක්ද?

එළඹෙන දෙසැම්බර් මස 01 වනදා සිට අභ්‍යාස පොත් ඇතුළු පොත්පත්වල මිල ගණන් 18% කින් අඩු වනු ඇත.