එළැඹෙන වසරේ අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට සහන ලබා නොදීමට විරෝධය පළ කරමින් ලබන 30 වනදා දැවැන්ත වැඩ වර්ජනයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. එම වැඩ වර්ජනයට එක්වනවා ද නැද්ද යන තීරණය අනිද්දා ප්‍රකාශයට පත්කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියෝජිතයින් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් අතර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා මේ බව කියා සිටියේය.
කාරක සභාවේදී ගන්නා තීරණය
විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා පැවසුවේ, 27 වනදා පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි. ඊට පෙර සාකච්ඡාවක් හරහා විසඳුමක් ලබා දෙන්නේ නම් වඩාත් යහපත් බවත් ඔහු සඳහන් කර සිටියේය.
“අද දිනයේදී අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ එහි නායකත්වය සහ නියෝජිතයන් හමුවෙලා රජයේ වෛද්‍යාධාර සංගමය වශයෙන් අපි අයවැය සම්බන්ධව දරන අදහස් ඔවුන් සමඟ හුවමාරු කරගත්තා. රජය උත්සාහ කරනවා වෛද්‍යවරුන්ට රුපියල් 25,000ක් වැටුප් වැඩිවීමක් සපයලා තියෙනවා. ඒක මදි කියලා තමයි වෛද්‍යවරුන් මේ අවස්ථාවේදී වැඩි වැටුප් සහ දීමනා ඉල්ලලා තමයි සටන් කරන්නේ කියලා ප්‍රචාරයක් අරගෙන යනවා. එතකොට මේක ඉතාම අගතිගාමී වැඩපිළිවෙළක්.”විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව
ඊළඟට කුමක්ද?
ලංකා පුරාම විහිදිලා තියෙන ශාඛා සමිති ජාලයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් 27 වෙනිදා පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී අවසන් වශයෙන් කරන්නේ කුමක්දැයි තීරණය කිරීමට නියමිතය.






