2026 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා වූ මාස 10 තුළ මෙරට භාණ්ඩ හා සේවා අපනයනවලින් ලද සමස්ත ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 15.28ක් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි.

2025 වසරේ එම කාලය තුළ වාර්තා වූ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 14.41ක් වූ අතර, ඊට සාපේක්ෂව මෙය 6.03%ක කැපී පෙනෙන ඉහළ යාමකි. ශ්‍රී ලංකා රේගුව නිකුත් කළ දත්ත අනුව භාණ්ඩ අපනයනය පමණක් 5.72%කින් වැඩි වී අමෙරිකානු ඩොලර් බිලියන 12.01ක් ලෙස වාර්තා වේ.

වැඩිම ආදායම දුන් රටවල්

මෙම කාලසීමාවේ ප්‍රධානතම ගැනුම්කරු බවට පත්ව ඇත්තේ අමෙරිකාවයි. එරටට සිදුකළ අපනයනවලින් අමෙරිකානු ඩොලර් මිලියන 2,518.31ක් ලැබී තිබේ.

දෙවැනි ස්ථානයට පත් ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 989.66ක්ද, මහා බ්‍රිතාන්‍යයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 723.40ක්ද හිමිව ඇත. ඊට අමතරව ඉතාලියෙන් අමෙරිකානු ඩොලර් මිලියන 573.18ක් සහ ජර්මනියෙන් අමෙරිකානු ඩොලර් මිලියන 565.95ක් ලැබී ඇතැයි සඳහන් වේ.

ඉදිරියෙන් සිටින නිෂ්පාදන ක්ෂේත්‍ර

අපනයන අංශ අතරින් වැඩිම ආදායමක් ගෙන දී ඇත්තේ ඇඟළුම් ක්ෂේත්‍රය වන අතර එම ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 4,196.56කි. ප්‍රවාහන හා සැපයුම් සේවා මගින් අමෙරිකානු ඩොලර් මිලියන 1,731.43ක් සහ ICT/BPM අංශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1,415.37ක් ලැබී තිබේ.

මීට අමතරව ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදනවලින් අමෙරිකානු ඩොලර් මිලියන 1,240.83ක්ද, තේ වලින් අමෙරිකානු ඩොලර් මිලියන 1,202.26ක්ද, පොල් ආශ්‍රිත නිෂ්පාදනවලින් අමෙරිකානු ඩොලර් මිලියන 1,054.43ක් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදනවලින් අමෙරිකානු ඩොලර් මිලියන 873.85ක් උපයා ඇති බව වාර්තා වේ.