මධ්‍යම පරිසර අධිකාරියේ ක්ෂේත්‍ර රාජකාරී වඩාත් හොඳින් කරගෙන යාම සඳහා අලුතින් තෝරාගත් පරිසර නිලධාරීන් 281 දෙනෙකුට පත්වීම් ලිපි ලබා දීම අද (25) පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි. ආයතනික බඳවා ගැනීමේ පටිපාටියට අනුව පැවැති තේරීම් පරීක්ෂණවලින් සමත් වූවන් මෙසේ බඳවා ගෙන ඇත.
මෙලෙස පත්වීම් ලැබූ පිරිස මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලය, පළාත් කාර්යාල සහ දිස්ත්‍රික් කාර්යාල වෙත ඉදිරියේදී අනුයුක්ත කිරීමට නියමිත බව වාර්තා වේ.
දීර්ඝ කාලයකට පසු සිදු වූ විශේෂ බඳවා ගැනීමක්
මධ්‍යම පරිසර අධිකාරිය වෙත අවසන් වරට පරිසර නිලධාරීන් බඳවාගෙන තිබුණේ 2017 වසරේදී වන අතර, මෙවැනි විශාල පිරිසක් එකවර බඳවා ගනු ලැබුවේ 1997 වසරෙන් පසුව වීම විශේෂත්වයකි.
ජාතික පාරිසරික පනත සංශෝධනය වීමත් සමග හඳුන්වා දී ඇති නව නීති හා රෙගුලාසි වඩාත් විධිමත්ව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මානව සම්පත සපුරා ගැනීම මෙමගින් අපේක්ෂා කෙරේ. පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සහ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.






