සෞඛ්‍ය ක්ෂේත්රය සම්බන්ධයෙන් විශේෂ පුවතක් අනාවරණය කරමින්, ඉදිරි වසර තුන ඇතුළත වෛද්‍ය තනතුරු 7,000කට ආසන්න ප්‍රමාණයක් අනුමත කර ගැනීම රජයේ අරමුණ බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
කරාපිටිය, රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අභිනවයෙන් ඉදිකළ 10 මහල් මහාචාර්ය වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 2017 වසරෙන් පසු පළමු වරට සෞඛ්‍ය ක්ෂේත්රයේ කාර්ය මණ්ඩල සමාලෝචනයක් මෑතකදී සිදුකළ බව ද අමාත්‍ය ජයතිස්ස මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
ප්‍රධාන කරුණු
- වසර තුනක් ඇතුළත වෛද්‍ය තනතුරු 7,000ක් පමණ අනුමත කිරීමට නියමිතයි.
- 2017න් පසු පළමු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමාලෝචනය සිදුකර අවසන්.
- අධිකරණ ක්‍රියාමාර්ග අවසන් වූ වහාම වෛද්‍ය පත්වීම් 2,000කට ආසන්න සංඛ්‍යාවක්.
- හෙද නිලධාරීන් 3,000ක් සහ උපාධිධාරීන් 500ක් බඳවා ගැනීමට සැලසුම්.
පත්කිරීම් සහ බඳවා ගැනීම්
මේ වන විට සිය සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 1,472 දෙනෙකු සේවා ස්ථානගත කිරීම් අපේක්ෂාවෙන් පසුවෙති. දැනට පවතින නඩු කටයුතු අවසන් වූ වහාම පත්වීම් 2,000කට ආසන්න ප්‍රමාණයක් ලබාදීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම බඳවා ගැනීම් වෛද්‍යවරුන්ට පමණක් සීමා නොවන අතර හෙද නිලධාරීන් 3,000ක් සහ තවත් උපාධිධාරීන් 500 දෙනෙකු බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
වත්මන් වෛද්‍ය කාර්ය මණ්ඩලය
අමාත්‍යවරයා හෙළි කළ තොරතුරුවලට අනුව, සෞඛ්‍ය පරිපාලකයින් සහ විශේෂඥ වෛද්‍යවරුන් ද ඇතුළුව මේ වන විට ශ්‍රී ලංකාව තුළ වෛද්‍යවරුන් 25,000ක් පමණ සේවය කරති.
මේ අතර දිවයින පුරා පිහිටි වෛද්‍ය පීඨ 12 තුළ සිසුන් 12,000කට ආසන්න පිරිසක් වෛද්‍ය උපාධිය හදාරමින් සිටිති.






