ගිංතොට දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි ගංගාතිලක විහාරය දෙසට යන මාර්ගය අසල දුම්රිය මාර්ගයේ වැටී තිබූ තරුණියකගේ සිරුරක් දුම්රිය මාර්ග වැඩ පරීක්ෂකවරයකු විසින් දැක පොලිසියට දැනුම් දී ඇත. ඒ වන විටත් සිද්ධිය වූ ස්ථානයට පැමිණ සිටි ගාල්ල පොලිසියේ නිලධාරියෙකු ඇගේ නාද වූ ජංගම දුරකතනයට ප්‍රතිචාර දක්වා ඇති අතර, එහිදී කතා කර ඇත්තේ ඇගේ සැමියායි.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ බෙලිඅත්ත වලස්මුල්ල පාරේ පදිංචිව සිටි, කරාපිටිය වෛද්‍ය පීඨයේ සිව්වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි 24 හැවිරිදි ඔලොක්කුව පටබැඳිගේ කවිඳි යුත්මිණි ද සිල්වා නමැති වෛද්‍ය සිසුවියයි.
අවසානයට පෙර යැවූ කෙටි පණිවුඩ
මියගිය සිසුවියගේ පියා වන මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන විරාජ් ජයක ද සිල්වා මහතා මරණ පරීක්ෂණයේදී පැවසුවේ, ඇය අක්මීමණ තලගහ හන්දියේ පදිංචි 23 හැවිරිදි විශ්මිත විශාරද විජේනායක සමග පසුගිය අගෝස්තු මාසයේදී විවාහ වී සිටි බවයි. ඔවුන් අතර කිසිදු ආරවුලක් නොතිබූ අතර ඇයට අධ්‍යයන කටයුතු පිළිබඳ දැඩි පීඩනයක් තිබී ඇත.
නොවැම්බර් 02 වැනිදා රාත්‍රී 10.22 ට පමණ ඇය සිය සැමියාට පණිවුඩයක් යවා තිබූ අතර මධ්‍යම රාත්‍රී 12.00 ට පමණ පියාට ද කෙටි පණිවුඩයක් යවා තිබිණි. පසුදා අලුයම මේ බව දුටු දෙමව්පියන් සොයා බැලුවද ඇය නේවාසිකාගාරයේ නොසිටි බවත්, පසුව පෙරවරු 7.30 ට පමණ ඇගේ සිරුර හමුවූ බවත් වාර්තා වේ.
“වැඩ වැඩියි අම්මේ, මට ආතතිය වගේ, රිලැක්ස් වෙන්න පන්සලට යන්න ඕන”මියගිය කවිඳි යුත්මිණි ද සිල්වා
පොලිස් පරීක්ෂණ හා මරණ පරීක්ෂණය
ඇය කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වූ දුම්රියක ගැටී ඇති බවට සැක කෙරුණද, එම වේලාවේ ධාවනය වූ දුම්රිය දෙකේම රියැදුරන් ඇය දුම්රියේ ගැටෙනු දැක නැති බව සඳහන් වේ. මේ නිසා ඇය අනතුරට ලක්වූයේ කුමන දුම්රියේදැයි මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැත.
ගාල්ල ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එච්. ඩී. වීරරත්න මහතාගේ වාර්තාව සහ දුම්රිය රියැදුරන්ගෙන් තවදුරටත් සාක්ෂි ලබාගැනීමේ අවශ්‍යතාව මත, ගාල්ල හදිසි මරණ පරීක්ෂක ගාමිණි කුලසිංහ මහතා විසින් මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කරන ලදී. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.






