වාරියපොල අවුලේගම කරඳවැටිය ප්රදේශයේදී අද (10) අලුයම අවාසනාවන්ත ලෙස විදුලි සැර වැදීමෙන් අඹුසැමි යුවළක් මියගොස් ඇති බව වාරියපොල පොලිසිය සඳහන් කරයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තෙන්නකෝන්ගම කරඳවැටිය ප්රදේශයේ පදිංචිව සිටි එස්.එම්. දේවසිරි (61) සහ ඊ.එම්. කරුණාවතී (60) නමැති සිව්දරු දෙමාපිය යුවළකි.
අනතුර සිදුවූ ආකාරය සහ එල්ලවන චෝදනා
අද උදෑසන තම නිවස ඉදිරිපිට පිහිටි විදුලි කණුවේ සවිකර තිබූ විදුලි පහන නිවා දැමීමට ගිය අවස්ථාවේදී දෙදෙනාටම විදුලි සැර වැදී ඇති බව ඥාතීන් පවසන අතර, ඔවුහු මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයට චෝදනා කරති.
අදාළ විදුලි කණුවේ ඔතා තිබූ භූගත වයරයක් හේතුවෙන් මෙලෙස අනතුර සිදුව ඇති බව ප්රදේශවාසීහු පෙන්වා දෙති. මීට පෙර එම නිවස අසලින් දිවෙන මාර්ගයේ ප්රධාන විදුලි රැහැන් පද්ධතියේ භූගත වයරය කැඩී ගිය පසු, විදුලිබල මණ්ඩලයෙන් පැමිණි පිරිසක් එය මෙම කණුවේ ඔතා තබා ගොස් තිබූ බවත්, දින ගණනාවක් තිබුණද මෙතෙක් කිසිදු හානියක් සිදුව නොතිබූ බවත් වාර්තා වේ.






