අත්‍යවශ්‍ය මූල්‍ය සහ පරිපාලනමය කටයුතු අටක් සඳහා බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) අනිවාර්ය කිරීමේ නීතිය ක්‍රියාත්මක කිරීම 2027 අප්‍රේල් 1 දක්වා කල් දමා ඇතැයි වාර්තා වේ. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙම තීරණය තහවුරු කර තිබේ.

නොවැම්බර් 1 වනදා සිට ක්‍රියාත්මක වූ මෙම අවශ්‍යතාව සපුරාලීමට මහජනතාවට තවත් මාස පහක කාලයක් මෙමගින් හිමිවන බව සඳහන් වේ.

තීරණය ගැනීමට හේතු වූ කරුණු

ටින් සහතික ලබාගැනීමට ගිය ජනතාව දැඩි දුෂ්කරතාවලට ලක්වීම මෙම කල් දැමීමට ප්‍රධානතම හේතුව වී ඇත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යාල ඉදිරිපිට දිගු පෝලිම් ඇතිවීම මෙන්ම දෙපාර්තමේන්තුවේ මාර්ගගත ලියාපදිංචි කිරීමේ පද්ධතියේ හටගත් බිඳවැටීම් හා අවහිරතා හමුවේ බලධාරීන් මෙම පියවර ගෙන තිබේ.

සහනය ලැබෙන සේවාවන් මෙන්න

මෙලෙස සහන කාලය හිමිවන ගනුදෙනු අට වන්නේ බැංකු ගිණුම් විවෘත කිරීම, ගොඩනැගිලි සැලසුම් අනුමත කරගැනීම, වාහන ලියාපදිංචිය, වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම, ඉඩම් ලියාපදිංචිය, ව්‍යාපාර ලියාපදිංචි කිරීම, සමාගම් කොටස් පැවරීම සහ ණයපත් (credit cards) ලබාගැනීමයි.

මීට ඉහතදී බැංකු ගිණුම් විවෘත කිරීම සහ වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම යන සේවාවන් දෙකට පමණක් තාවකාලික සහනයක් ලබාදී තිබුණද, නව තීරණයත් සමඟ ලැයිස්තුවේ ඇති සේවා අටටම ලබන වසරේ අප්‍රේල් දක්වා කාලය දීර්ඝ වේ.