නයි බස්තමක් අතැතිව සිටි චීවරධාරී පුද්ගලයෙකු කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලය අසලදී මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ. මහනුවර සිට කොළඹ බලා පාගමනින් විරෝධතාවක පැමිණි බව පැවසුවද එම කටයුත්ත අවුල් වීමෙන් අනතුරුව ඔහු මෙලෙස හැසිරී ඇතැයි වාර්තා වේ.

එහිදී ඔහු විසින් ජනාධිපතිවරයා වෙත දැඩි වචන භාවිත කරමින් දොස් පවරා ඇති අතර, එම ප්‍රකාශ මඟින් සංඝ චීවරයට නිගාවක් සිදුවූ බවක්ද පෙනෙන්නට තිබූ බව සඳහන් වේ.

මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය

තමන් කිසිවෙකුටත් හානියක් නොකර මානව හිමිකම් සංවිධානයක සභාපති හිමිනමක් ලෙස මෙම ගමන නීත්‍යානුකූලව ආරම්භ කළ බව ඔහු එහිදී සඳහන් කර තිබේ. තමාව ඝාතනය කළත් හෝ පොලිසියෙන් අත්අඩංගුවට ගත්තත් බිය නොවන බවද ඔහු කියා සිටියේය.

එමෙන්ම කෑගල්ල ප්‍රදේශයට පැමිණෙන විට විරෝධතා, හූ තැබීම් සහ බැනවැදීම්වලට මුහුණදීමට සිදුවූ බවත්, පොලිස් නිලධාරීන් ඉදිරියේද තර්ජන එල්ල වූ බවත් ඔහු පවසා ඇත.

“මේ සියල්ලටම මට අපහාස, මට සිද්ධ කරපු අපහාසය වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්නා තුරු මං මෙතනින් අඩියක් හොලවන්නේත් නෑ කියලා ප්‍රකාශ කරනවා.”චීවරධාරී පුද්ගලයා

පොලිස්පතිගෙන් ඉල්ලීමක්

සමාජ මාධ්‍ය ඔස්සේ මුදල් ගෙවා තමන්ගේ චරිතය ඝාතනය කළ බවට චෝදනා කරන මෙම පුද්ගලයා, තමන්ට සිදුවූ අපහාසයන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා තුරු එම ස්ථානයෙන් ඉවත් නොවන බවත් වැඩිදුරටත් කියා සිටියේය.