මැතිවරණ ජයග්‍රහණයත් සමග කොංග්‍රස් මණ්ඩල ද්විත්වයේම පාලනය තමන් සතු කර ගැනීමට ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට හැකි වී තිබේ. එළැඹෙන ජනවාරි මාසයේදී ඔවුන්ට මෙම තත්ත්වයේ සැබෑ අභියෝගවලට මුහුණ දීමට සිදු වන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

දූෂණය තුරන් කිරීම, සෞඛ්‍ය සේවා, ආහාර සහ ඉන්ධන මිල ගණන් පහත දැමීම මෙන්ම ඉරාන යුද්ධය අවසන් කිරීම වැනි මැතිවරණ පොරොන්දු රැසක් ඔවුන් ඉදිරියේ පවතී. කෙසේ වෙතත්, වොෂින්ටනයේ බලය වෙනස් වුවද රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සතු විධායක බලය එලෙසම ක්‍රියාත්මක වීම ඔවුන්ට ප්‍රධාන බාධාවක් වනු ඇත.

ඩිමොක්‍රටික් පාර්ශ්වයට කළ හැකි දේ

ජනාධිපතිවරයා සිදු කරන කැබිනට් මණ්ඩල සහ අධිකරණ පත්කිරීම් අනුමත කිරීමට හෝ ඒවා ප්‍රතික්ෂේප කිරීමට සෙනෙට් සභාවට පූර්ණ බලය හිමි වේ. නිදසුනක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩුවක් ඇති වුවහොත්, එම නම් කිරීම් අවහිර කිරීමට හෝ මධ්‍යස්ථ අයෙකු පත් කිරීමට බලපෑම් කිරීමට සෙනෙට් සභාවේ බලය යොදාගත හැකිය.

එමෙන්ම ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ බලය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට හිමිය. එහිදී 50% + 1 ක සාමාන්‍ය බහුතරයකින් චෝදනා සම්මත කරගත හැකි අතර, මීට පෙරද ට්‍රම්ප්ගේ පළමු ධුර කාලයේදී ඔහුව දෙවරක් එලෙස දෝෂාභියෝගයට ලක් කිරීමට ඩිමොක්‍රටික්වරුන්ට හැකි විය.

“අද අමෙරිකාවේ පුනරාවර්තනයක ආරම්භය සනිටුහන් වනවා”හකීම් ජෙෆ්රීස්

මුහුණ දීමට සිදුවන ප්‍රධාන ගැටලු

දෝෂාභියෝගයක දෙවන අදියරේදී සෙනෙට් සභාව මගින් ජනාධිපතිවරයා වරදකරු කර ධුරයෙන් ඉවත් කිරීමට තුනෙන් දෙකක බහුතරයක් හෙවත් ඡන්ද 67 ක් අවශ්‍ය වේ. වත්මන් තත්ත්වය යටතේ එම ඉලක්කය සපුරා ගැනීම අසීරු බවත්, එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම සුදුසුද යන්න පක්ෂය තුළ තවමත් සාකච්ඡා මට්ටමේ පවතින බවත් සඳහන් වේ.

සභා දෙක හරහා නීති සම්මත කළද, ට්‍රම්ප් ජනාධිපතිවරයා අනුමත නොකරන නීති ප්‍රතික්ෂේප කිරීමට ඔහුට හැකියාව තිබේ. ජනාධිපතිවරයාගේ එම නිෂේධ බලය අභිබවා යාමට සභා දෙකෙන්ම සුපිරි බහුතරයක් අවශ්‍ය වන අතර, ඩිමොක්‍රටික් පක්ෂයට තනිව එම මට්ටමට ළඟා වීම දුෂ්කර වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.