වාර්ෂිකව පවත්වන ස්ත්‍රී හිංසන පිටුදැකීමේ දින 16 වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ කාන්තා සහ ළමා කටයුතු ඇමතිනී සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගෙන් මාධ්‍යවේදියෙකු විශේෂ ප්‍රශ්නයක් විමසා සිටියේය. 1971 කැරැල්ල ඇතිවීමටත් කුල සාධකය බලපෑ බව පෙන්වා දුන් එම මාධ්‍යවේදියා, පුවත්පත් මංගල දැන්වීම්වල තවමත් කුලය සඳහන් කිරීම නිසා සමාජ හිංසනයක් සිදුවන බවත්, එවැනි ප්‍රසිද්ධ දැන්වීම් පළ කිරීම පාලනය කිරීමට පියවර ගත නොහැකිදැයි විමසීය.

ඊට පිළිතුරු දෙමින් ඇමතිනිය සඳහන් කළේ එම කාරණාව සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරන බවයි. පෞද්ගලික තීරණ ගැනීමේදී කුලය නොසලකා හැරීමට හැකියාව පවතින බවද ඇය සඳහන් කළාය.

වශී ගුරුකම් සහ මිථ්‍යා දැන්වීම් ගැන කතාව

මීට අමතරව සමාජයේ කාන්තා පිරිමි දෙපාර්ශවයම නොමඟ යවන මිථ්‍යාව වපුරන වෙළඳ දැන්වීම් ඕනෑ තරම් පවතින බව ඇමතිනිය පෙන්වා දුන්නාය. වශී ගුරුකම් මෙන්ම තෙල් බිංදුවක් ආලේප කිරීමෙන් දේවල් කළ හැකි බව කියමින් සමාජ මාධ්‍ය හරහා දරු පරපුර විකෘති තත්ත්වයට පත් කරන පහත් මට්ටමේ දැන්වීම් ඇති බව ඇය සඳහන් කළාය.

මෙවැනි කාරණා සියල්ල සැලකිල්ලට ගෙන මාධ්‍ය සඳහා සමාජ ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දීමට නීති ගෙන එන බව ඇමතිනිය ප්‍රකාශ කළාය. ඕනෑම සමාජයක් ඉදිරියට ගමන් කළ යුතු බවත්, වෙළඳ දැන්වීම්, කලාව, මාධ්‍ය මෙන්ම සාහිත්‍යයද සමාජයේ ප්‍රගමනයට දායක විය යුතු බවත් ඇය අවධාරණය කළාය.

ප්‍රචණ්ඩත්වය පෞරුෂය ලෙස දැකීම වැරදියි

ප්‍රචණ්ඩත්වය පෞරුෂය හෝ වීරත්වය ලෙස වරදවා වටහාගෙන ඇති බවත්, ඇතැම් නාට්‍ය, ටෙලිනාට්‍ය සහ සාහිත්‍ය නිර්මාණ හරහා ස්ත්‍රීත්වය හා පිරිමිකම පිළිබඳ වැරදි ආකල්ප සමාජගත කර ඇති බවත් ඇමතිනිය වැඩිදුරටත් කියා සිටියාය.

පාසල් පද්ධතිය, දරුවන්, ක්‍රීඩා සමාජ සහ ළමා සමාජ තුළින් මේ සම්බන්ධයෙන් හොඳ විද්‍යාත්මක අවබෝධයක් ලබාදීමට කටයුතු කළ යුතු බවද ඇය අවසන් වශයෙන් පෙන්වා දුන්නාය.