එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් නුවරදී පැවති 2026 අයි.සී.සී. කාන්තා නැගී එන රටවල් කුසලාන අවසන් මහා තරගයෙන් අයර්ලන්තය කඩුලු 6කින් පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් විය.

හර්ෂිතා සමරවික්‍රමගේ නායකත්වයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු 44ක් ඉතිරිව තිබියදීම තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වූහ.

අයර්ලන්ත ඉනිම සුනුවිසුනු කළ පන්දු යැවීම

අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 19.3ක් තුළ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 96ක් පමණි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සත්‍යා සංදීපනී සිය පන්දුවාර 4 තුළදී ලකුණු 13කට කඩුලු 4ක් දවා ගත්තාය.

චේතනා විමුක්ති, සුගන්ධිකා කුමාරි, නිමාෂා මීපගේ සහ කවීෂා දිල්හාරි අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගිය අතර අයර්ලන්තය වෙනුවෙන් ඇලානා ඩැල්සෙල් පන්දු 27කදී ලකුණු 25ක් රැස් කළාය.

පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකාරිනියෝ

ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිතිකාරිනියෝ පන්දුවාර 12.4ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 99ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළහ. කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ ඉමේෂා දුලානි පන්දු 25කින් නොදැවී ලකුණු 44ක් රැස් කළාය.

සංජනා කවින්දි පන්දු 22කදී ලකුණු 25ක් සහ නිලක්ෂිකා සිල්වා පන්දු 10කදී නොදැවී ලකුණු 16ක් ලබා ගත්හ. අයර්ලන්තය වෙනුවෙන් කියා මැක්කාර්ට්නි සහ කාරා මරේ කඩුලු 2 බැගින් දවා ගත්හ.