හෝමාගම ප්‍රාදේශීය සභාවේ පැවැති මාසික මහ සභා රැස්වීමේදී අපූරු සිදුවීමක් වාර්තා වේ. සභා රැස්වීම අතරතුර ලබාදුන් කෙටි තේ පාන විවේකයෙන් පසු පැමිණි මන්ත්‍රීවරුන්ට දැනගන්නට ලැබී ඇත්තේ, තමන්ගේ ලිපිගොනු තුළ තිබූ ලේඛනයක් අතුරුදන්ව ඇති බවයි.

මෙම සිද්ධියට හේතු වී ඇත්තේ ප්‍රාදේශීය සභාවේ තේමා ගීතයේ මුද්‍රිත පිටපතකි. පසුගිය මාසයේ පැවති රැස්වීමේදී පළමුව හඳුන්වා දුන් මෙම ගීතය, මෙවර රැස්වීමේදී මුද්‍රණය කර සියලුම මන්ත්‍රීවරුන් වෙත ලබාදීමට පියවර ගෙන තිබුණි.

සභාවේ මතභේදය සහ පිටපත අතුරුදන් වීම

එම අවස්ථාවේ සභාව තුළ වාදනය කළ තේමා ගීතය සහ මන්ත්‍රීවරුන්ට ලබාදුන් මුද්‍රිත පිටපත අතර වැරැදි තිබෙන බව පවසමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාවේදී දැඩි විරෝධයක් පළ කර ඇත. මේ හේතුවෙන් සභා රැස්වීම තේ පානය සඳහා තාවකාලිකව නතර කෙරිණි.

කෙසේ වෙතත්, තේ පානය කර නැවත සභා ශාලාවට පැමිණ ලිපිගොනු පරීක්ෂා කළ අවස්ථාවේදී, විරෝධයට ලක්වූ තේමා ගීත පිටපත ලිපිගොනුවලින් අතුරුදන්ව තිබූ බව මන්ත්‍රීවරුන් පවසා තිබේ.

මන්ත්‍රීවරුන් පොලිසියට

තේ විවේකය අතරතුර සිදුවූ මෙම ලේඛන අතුරුදන් වීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා විපක්ෂයේ මන්ත්‍රීවරුන් දාසය දෙනෙකු අත්සන් කර හෝමාගම පොලිසියට ලිඛිත පැමිණිල්ලක් බාරදී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය ගැන කරුණු විමසීමට හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් රත්නායක මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද, දුරකතනය විසන්ධි කර තිබීමෙන් එය අපොහොසත් විය.

ඊළඟට කුමක්ද?

සභා ගර්භය තුළ තිබූ තේමා ගීත පිටපතට සිදුවූයේ කුමක්ද යන්න සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය ඉදිරි පරීක්ෂණ සිදු කරයි.