පෙර පැවති ආණ්ඩු උද්ධමනය පාලනය කළේ නැතැයි චෝදනා කළ වත්මන් පාලනය යටතේ උද්ධමනය සියයට 8.5 දක්වා ඉහළ ගොස් ඇතැයි හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි. ගෝලීය අර්බුදයට මුහුණ දුන් සෙසු රටවල උද්ධමනය මීට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතින බවද ඔහු පෙන්වා දෙයි.

ස්වාධීන මහ බැංකුව සහ රුපියලේ අගය

පසුගිය ආණ්ඩු මුදල් අච්චු ගැසීම සහ ණය ගැනීම නිසා උද්ධමනය ඇති වූ බවට දෝෂාරෝපණය කළද, වත්මන් රජය මුදල් නොගෙන අතිරික්තයක් පවත්වාගෙන යද්දී මෙලෙස උද්ධමනය ඉහළ ගියේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි. වාහන ආනයනය විවෘත කිරීමෙන් රුපියල බාල්දු විය හැකි බව තමන් මීට පෙර අනතුරු ඇඟවූ බවත්, අද වන විට එම තත්ත්වය සත්‍යයක් වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

“මෙතෙක් දුර මීට පෙර ආණ්ඩුවලට බැන්නේ උද්ධමනය පාලනය කරන්න බැහැ. මොකද ආණ්ඩු ණයට ගන්නවා සල්ලි, අච්චු ගහනවා මෙවැනි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ස්වාධීනත්වයක් තියෙන මහ බැංකුව තුළ සහ ආණ්ඩුව සල්ලි ගන්නේ නැති වුණාම, අතිරික්තයකුත් තියාගෙන ඉන්නකොට, මේ වගේ ඉල්ලුම අනුව වැඩි වෙලා නැති වෙන අවස්ථාවේදී කොහොමද එහෙනම් 8.5%ක උද්ධමනයක් තියෙන්නේ?”හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක

පොළී අනුපාත සහ ආර්ථික සංකෝචනය

උද්ධමනය පාලනය කිරීමට බැංකු පොළී අනුපාත ඉහළ දැමීම රටට අහිතකර බවද ඔහු වැඩිදුරටත් කියා සිටී. පොළී අනුපාතය 9% ක් වන විට සුළු හා මධ්‍යම ව්‍යාපාරිකයන්ට බැංකු ණය ලබාගැනීමේදී එය 15% ක් හෝ 16% ක් දක්වා ඉහළ යන බව ඔහු පැහැදිලි කරයි. එමෙන්ම විදුලිය, ජලය, ඉන්ධන සහ වැටුප් පිරිවැය ඉහළ යාම නිසා නිෂ්පාදන වියදම වැඩි වී අපනයන භාණ්ඩවල මිල ඉහළ යන බවද ඔහු පෙන්වා දුන්නේය.