දෝහාහිදී පැවැත්වෙන ආසියානු කුසලාන නැගී එන ක්‍රීඩකයින්ගේ තරගාවලියේ ඉන්දීය ‘ඒ’ කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවති තරගයේදී 15 හැවිරිදි වෛභව් සූර්යවංශි මෙම දස්කම පෙන්වා ඇත. ඔහු පන්දු 28කින් ශතකය වාර්තා කරමින් List A එක්දින ඉතිහාසයේ වේගවත්ම ශතකයට හිමිකම් කීවේය.

මීට පෙර පන්දු 29කින් ශතකයක් ලබාගෙන ජේක් ෆ්‍රේසර්-මැක්ගර්ක් පිහිටුවා තිබූ වාර්තාව මෙයින් බිඳ වැටුණු බව වාර්තා වේ.

හයේ පහර 14ක් සමඟින් දැවැන්ත ප්‍රහාරයක්

ඉන්දීය ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි සූර්යවංශි, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලබාදුන් ලකුණු 250ක ඉලක්කය හඹායමින් සිටියදී මෙම පිතිහරඹය දියත් කළේය. සිය ශතකය වෙනුවෙන් ඔහු හයේ පහර 14ක් සහ හතරේ පහර 4ක් එල්ල කළ අතර, පන්දුවට පහරදීමේ වේගය 375ක් ලෙස රඳවා ගැනීමට සමත් විය.

ලකුණු 150 වාර්තාවත් තමන් සතු කරගනී

මෙම තරගයේදී පන්දු 40කින් ලකුණු 150 සීමාව පසුකරමින් වේගවත්ම List A ලකුණු 150 වාර්තාව ද අලුත් කිරීමට ඔහු සමත් විය. මීට පෙර එම වාර්තාව ද ඔහු සතුව තිබූ අතර, පසුගිය වසරේ බිහාර් කණ්ඩායම වෙනුවෙන් අරුණාචල් ප්‍රදේශ් කණ්ඩායමට එරෙහිව පන්දු 59කින් ලකුණු 150ක් රැස්කරමින් එය පිහිටුවා තිබුණි.

මේ වසරේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පන්දු 11කින් අර්ධ ශතකයක් ලබාගෙන වේගවත්ම List A අර්ධ ශතකයේ වාර්තාව ද ඔහු පිහිටුවා තිබිණි. ඒ අනුව List A පිටියේ වේගවත්ම අර්ධ ශතකය, ශතකය සහ ලකුණු 150 යන වාර්තා තුනම මේ වන විට මෙම 15 හැවිරිදි ක්‍රීඩකයා සතුව පවතී.