ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව නොවැම්බර් මාසයේ ගතවූ දින 22ක කාලය තුළදී විදෙස් සංචාරකයින් 156,627 දෙනෙකු මෙරටට පැමිණ තිබේ. මින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි. එම සංඛ්‍යාව 47,338ක් වන අතර එය මුළු පැමිණීම්වලින් සියයට 30කට ආසන්න අගයක් බව සඳහන් වේ.
එම කාලසීමාවේ දෙවන ස්ථානය රුසියාවට හිමිව ඇති අතර එරටින් සංචාරකයින් 14,744 දෙනෙකු මෙරටට පැමිණ ඇත. ඊට අමතරව එක්සත් රාජධානියෙන් 10,628ක්, ජර්මනියෙන් 9,504ක් සහ චීනයෙන් සංචාරකයින් 8,640ක් ද මෙරටට පැමිණි බව වාර්තා වේ.
වසරේ මේ දක්වා පැමිණීම් වාර්තාව
නවතම දත්ත අනුව 2026 වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 2,018,931ක් දක්වා ඉහළ ගොස් ඇත.
2026 ජනවාරි මාසයේ සිට නොවැම්බර් 22 වැනිදා දක්වා වූ කාලය සැලකීමේදී ද වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 546,963කි. සංචාරකයින් 183,757ක් රැගෙන දෙවන ස්ථානයට එක්සත් රාජධානිය පත්ව ඇති අතර, චීනයෙන් 132,380ක් සහ ජර්මනියෙන් 114,809ක් ද පැමිණ තිබේ. මෙහි පස්වන ස්ථානය හිමිව ඇත්තේ සංචාරකයින් 104,485ක් මෙරටට පැමිණි රුසියාවටයි.






