1906 නොවැම්බර් 17 වැනිදා ජපානයේ ෂිෂුඕකා ප්‍රාන්තයේ හමාමාට්සු අසල කෝමියෝ ගම්මානයේදී සොයිචිරෝ හොන්ඩා උපත ලැබීය. ඔහුගේ පියා වූ ගිහේයි බයිසිකල් අලුත්වැඩියා කළ කම්මල්කරුවෙකු වූ අතර මව මිකා වියන්නියක වූවාය. පාසල් පොතපතට වඩා ගරාජයේ ඔයිල් සුවඳට හිත ගිය ඔහු, කුඩා කල ගම හරහා ගිය පළමු මෝටර් රථය දැකීමෙන් යන්ත්‍ර කෙරෙහි දැඩි ආශාවක් ඇති කරගත්තේය.

වයස අවුරුදු 15 දී ටෝකියෝව බලා ගිය සොයිචිරෝ, ආර්ට් ෂෝකායි ගරාජයේ ආධුනිකයෙකු ලෙස සේවය කළේය. 1928 දී තමාගේම අලුත්වැඩියා මධ්‍යස්ථානයක් ඇරඹූ ඔහු රේසිං තරගවලට ද එක්වූ නමුත් 1936 අනතුරකින් වම් ඇසට හානි වීමෙන් පසු එය නතර විය. පසුව ටොයෝටා සමාගමට පිස්ටන් රින්ග් සැපයීමට ටෝකායි සෙයිකි ආයතනය ඇරඹූ අතර, නිෂ්පාදන දුර්වලතා මඟහරවා ගනිමින් සේවකයින් 2,000කට වැඩි පිරිසක් දක්වා එය දියුණු කළේය.

යුද්ධයෙන් සහ භූමිකම්පාවෙන් සියල්ල අළු වෙයි

1944 දී ඇමෙරිකානු බී-29 බෝම්බ ප්‍රහාරයකින් යමාෂිටා කර්මාන්තශාලාව විනාශ වූ අතර, 1945 ජනවාරි මාසයේ මිකාවා භූමිකම්පාවෙන් ඉවාටා කර්මාන්තශාලාව ද බිමට සමතලා විය. තමන් හැදූ සියල්ල අහිමි වීමෙන් පසු, ඉතිරි වූ යන්ත්‍රෝපකරණ යෙන් ලක්ෂ 4.5කට ටොයෝටා සමාගමට විකුණා දැමීමට ඔහුට සිදුවිය.

එහෙත් පශ්චාත් යුද සමයේ ප්‍රවාහන දුෂ්කරතා දුටු සොයිචිරෝ, 1946 ඔක්තෝබර් මාසයේ හමාමාට්සු හි වර්ග මීටර 16ක ලී මඩුවක හොන්ඩා තාක්ෂණික පර්යේෂණ ආයතනය පිහිටුවීය. හමුදාවෙන් ඉවත් කළ විදුලි උත්පාදක යන්ත්‍ර 500ක් පමණ බයිසිකල්වලට සවිකර නිර්මාණය කළ 'බට-බට' වාහනය එකල ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය විය.

“සාර්ථකත්වය යනු 'අසාර්ථකත්වය' නමින් හැඳින්වෙන ඔබේ 99%ක වැඩ කොටසින් නිපදවෙන 1%ක ප්‍රතිඵලයකි”සොයිචිරෝ හොන්ඩා

ලොව දිනූ Honda සමාගම බිහිවීම

1948 සැප්තැම්බර් 24 වැනිදා යෙන් මිලියනයක ප්‍රාග්ධනයකින් Honda Motor Co., Ltd. නිල වශයෙන් ආරම්භ කෙරිණි. 1949 දී ඩ්‍රීම් ඩී-ටයිප් නමින් 98cc මෝටර් සයිකලයක් හඳුන්වා දුන් අතර, එම වසරේදීම ඔහුට ටකේඕ ෆුජිසාවා මුණගැසුණි. සොයිචිරෝ තාක්ෂණික කටයුතු භාරගනිද්දී, ෆුජිසාවා මූල්‍ය හා අලෙවිකරණ අංශය මෙහෙයවීය.

ඔවුන් 1958 දී හඳුන්වා දුන් සුපර් කබ් යතුරුපැදිය ඒකක මිලියන 100කට වඩා අලෙවි වෙමින් ඉතිහාසගත විය. 1959 දී ඇමරිකා එක්සත් ජනපදයේ ශාඛාවක් විවෘත කළ සමාගම, 1963 දී මෝටර් රථ නිපදවීමට ද පිවිසියේය. 1973 දී සභාපති ධුරයෙන් විශ්‍රාම ගත් සොයිචිරෝ හොන්ඩා, 1991 අගෝස්තු 5 වැනිදා ටෝකියෝ නුවරදී වයස අවුරුදු 84 දී ජීවිතයෙන් සමුගත්තේය.