බුද්ධ ශාසන අමාත්‍යාංශයේදී අද (16) පෙරවරුවේ පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතල්වැටුණුවැවේ ඥානතිලක හිමියන් මෙම අදහස් පළ කළහ.
අනුරාධපුර පූජා භූමිය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සඳහා පත්කළ ජනාධිපති උපදේශක සභාවේ රැස්වීමක් මීට පෙර අමාත්‍යාංශයේදී පැවැත්විණි. ඒ සඳහා උන්වහන්සේ සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සම සභාපතිත්වය දැරූහ.
වැට ඉදිකිරීම අත්හැර දැමූ හැටි
යෝජිත සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන් ජනතාව නිසි පරිදි දැනුවත් කිරීමට නොහැකි වීම ගැන කනගාටු වන බව උන්වහන්සේ පැවසූහ. විශේෂයෙන් පූජාභූමිය වටා වැටක් ඉදිකිරීමට ගත් තීරණය ගැන වැරදි වැටහීමක් ඇති වූ බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.
ගවයන් ඇතුළුවීම, පුරාවිද්‍යා ස්මාරක මත වාහන නැවැත්වීම සහ අනවසර ඉදිකිරීම් පාලනයට එම වැට යෝජනා කළත්, මේ වන විට එම වැට ඉදිකිරීමේ අදහස මුළුමනින්ම අතහැර දමා ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් තහවුරු කළහ.
“ජන විඥානය තේරුම් අරගෙන යමක් සමාජගත කරන්නට බැරි වීම ගැන ඇත්තටම කනගාටු වෙනවා. අපට මේකේ තිබුණු යම් යම් කරුණු කාරණා පිළිබඳව මුලදීම ජනතාව දැනුවත් කරන්න බැරි වුණා. උදාහරණයක් විදිහට මේ වැට සම්බන්ධයෙන් කතාබහක් ඇති වුණා. මීට දශක එකහමාරකට පමණ පෙරත් මෙහි වැටක් ඉදිකර තිබුණා. එම වැටේ ඉතිරි කොටස සංරක්ෂණය කරමින් නැවත නිර්මාණය කිරීමේ ඉල්ලීමක් අපවත් වී වදාළ නායක ස්වාමීන් වහන්සේගෙන් ඉදිරිපත් වී තිබුණා.”වැඩබලන අටමස්ථානාධිපති, රුවන්වැලි චෛත්‍යරාමාධිකාරි පූජ්‍ය ඊතල්වැටුණුවැවේ ඥානතිලක හිමි
ජනතාව ඉවත් කිරීමේ සැලසුමක් නෑ
පූජා නගරයේ පදිංචිකරුවන් ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව අවධාරණය කළ උන්වහන්සේ, වර්ග කිලෝමීටර් 28ක්ව තිබූ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 38ක් දක්වා සැලසුම් කළේ පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාව සහ වාහන තදබදය නිසි පරිදි කළමනාකරණය කිරීමට බව ප්‍රකාශ කළහ.






