2027 අයවැය සම්බන්ධයෙන් වෘත්තීය සමිති සිය විරෝධය පළ කරමින් සිටින පසුබිමක, විපක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති නායකයෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සිය 'X' ගිණුම හරහා ප්‍රශ්න කර තිබේ.

ඕනෑම වැරැද්දක් පිළිබඳ අපක්ෂපාතී සහ විනිවිදභාවයකින් යුතු පරීක්ෂණයක් සිදුවීම කිසිවෙකු ප්‍රශ්න නොකරන නමුත්, මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූ කාලය 'අතිශය කැපී පෙනෙන' එකක් බව මන්ත්‍රීවරයා එහි සටහන් කර ඇත.

විරුද්ධ මත මැඩපැවැත්වීමේ උත්සාහයක්ද?

මෙය හුදෙක් අහම්බයක්ද නැතහොත් විරුද්ධ මත අධෛර්යමත් කරමින් නැගී එන වෘත්තීය සමිති ව්‍යාපාරය පාලනය කිරීමට රජය ගන්නා උත්සාහයක්දැයි නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් විමසා සිටියි.

පසුගිය රජයන් සමයේ විරෝධතා, වැඩවර්ජන සහ අරගලවල ඉදිරියෙන්ම සිටි දේශපාලන ව්‍යාපාරය, අද තමන්ට එරෙහිව විරෝධතා මතු වන විට නොසන්සුන් වී ඇති බව පවසමින් ඔහු ආණ්ඩුවේ ක්‍රියාකලාපය විවේචනය කර තිබේ.

“විපක්ෂයේ සිටින විට විරෝධතා දැක්වීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටීම පහසුයි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ පරීක්ෂණය වන්නේ බලයට පත් වූ පසුත් එම අයිතියටම ගරු කරනවාද යන්නයි”නාමල් රාජපක්ෂ