දිවයිනට නැගෙනහිරින් පිහිටි බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වී ඇති අඩුපීඩන කලාපය ඉදිරි දිනවලදී තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ඈතින් උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් 15 වැනිදා වනවිට පීඩන අවපාතයක් බවටත්, 16 වැනිදා පමණ වනවිට මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව සුළි කුණාටුවක් බවටත් පත්වීමේ වැඩි ඉඩක් පවතින බව වාර්තා වේ.

අද (14) පෙරවරුව වන විට මෙම අඩුපීඩන කලාපය මඩකලපුව සිට කි.මී. 650 ක් පමණ දුරින් නැගෙනහිර දෙසින් ස්ථානගතව පැවති බව නිවේදනය කෙරිණි.

ධීවර හා නාවික ප්‍රජාවට දැඩි අවවාද

මේ හේතුවෙන් අද පෙරවරු 05.30 සිට බලපැවැත්වෙන පරිදි උතුරු අක්ෂාංශ 05ත් 15ත්, නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදට මෙන්ම කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා මුහුදු සීමාවට නැවත දැනුම් දෙනතුරු නොයන ලෙස උපදෙස් දී තිබේ. දැනටමත් එම ප්‍රදේශවල සිටින ධීවර හා නාවික පිරිස්වලට ආරක්ෂිත ස්ථාන කරා යාත්‍රා කරන ලෙස දැනුම් දී ඇත.

දිවයිනටම වැසි සහිත කාලගුණයක්

පද්ධතියේ බලපෑමෙන් හෙට දිනයේ අහස වළාකුලින් බරව පවතින අතර, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි අපේක්ෂා කෙරේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

ඌව, මධ්‍යම පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රියේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල අළුයම් කාලයේදී මීදුම් තත්ත්වයක් අපේක්ෂා කරන බවත් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියි.